බහ තේරූ දා සිට ග්‍රහලෝකවල සැරිසරන අපේ පොඩි වැඩ්ඩා
අඩි දෙකකට වඩා උස් නොවූ කුඩා දරුවෙක් මා ඉදිරියේ සිනාසෙමින් වාඩි වී සිටියි. ඔහුගේ දෑත් එහාට මෙහාට නළියයි.
“පුතාගෙ නම මොකක්ද?”
‘‘බෝනුක ඇසළ ශ්‍රී වාසල හේරත්”
‘‘කොහෙද ඉස්කෝලෙ යන්නෙ?”
‘‘මම ඉස්කෝලෙ යන්නේ නෑ, මොන්ටිසෝරි යන්නෙ” ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය.
‘‘කොහෙද මොන්ටිසෝරිය?”
‘‘කිරිබත්කුඹුරෙ කැන්ඩියන් ඉන්ටර්නැෂනල් ස්කූල්”
‘‘හොඳයි, මොන්ටිසෝරි ගිහින් ඊට පස්සෙ ඉස්කෝලෙත් ගිහින් ලොකු වුණාහම කවුරු වෙන්නද හිතන් ඉන්නෙ”.
‘‘මම ගගනගාමියෙක් වෙනව” ඔහු උස් හඬින් පිළිතුරු දුන්නේය.
‘‘ගගනගාමියෙක් වෙන්න අපේ ඉර හඳ තාරකා මේ ගැන හොඳින් ඉගෙන
ගන්න එපෑයැ”
‘‘ඔව් මම සෝලා ප්ලැනට් ගැන දන්නවා. Mercury, Venus, Earth, Mars, Jupiter, Saturn, Uranus, Neptune” ඔහු එක දිගටම කියාගෙන යයි.
‘‘කෝ ප්ලූටෝ නැද්ද?”
‘‘නෑ දැන් එයා නැහැ, එයා පුපුරල, ප්ලූටෝනෙ 9 වෙනියට හිටියෙ, එයා නැති නිසා දැන් නෙප්චූන් තමයි 8 වෙනියට අවසානෙට ඉන්නෙ” ඔහු ඇස් දෙක ලොකු කර අත් දෙකින් එය නොමැති බව ද ගෙන හැර දැක්වූවේය.
‘‘ඒකත් එහෙමයි නේද? , එතකොට බෝනුක පුතා අපේ ඉර ගැන දන්නේ මොනවද? ඉර හවසට බැහැලා යනව නේද?”
‘‘ඉර බහින්නෙ නැහැ, අපියි ඉර වටේ කැරකෙන්නෙ. ඉර හරිම රස්නෙයි. අපිට ඉරට ළං වෙන්න බැහැ” ඒ සමඟම ඔහු තවත් විස්තර කරන්නට විය.
‘‘අපිට බැරිවෙයිද ඉරට යන්න රොකට් එකකින්වත්”
‘‘අපෝ බෑ, Sun ගොඩාක් රස්නෙයි. අපට යන්න බෑ. ගියොත් අපි ගිනි අරගෙන පිච්චිලා මැරෙනවා”
“ඉර ගැනත් ගොඩක් දන්නව නේද? එතකොට Sun වගේම අපි ජීවත් වෙලා ඉන්න මේ පෘථිවිය හැදුණු හැටි අහල තියෙනවද?”
‘‘ආ Earth …”
‘Yes. Big Bang Theory is the leading explanation for how the universe began.” පොඩි දරුවා ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දුන්නේ අත් දෙක ඉහළට විහිදුවමිනි. ඔහු Big Bang Theory පාඩමක්ම කියා දුන්නේය.
පස්වැනි උපන්දිනයට ආසන්නව සිටින බෝනුකගේ විශ්වය, අභ්‍යවකාශය ගැන දැනුම ගැන තොරතුරු විමසන්නට අප දන්නා දැනුම මදිවනු ඇතැයි විටක අපට සිතුණි. ඔහු අභ්‍යවකාශය ගැන සෞරග්‍රහ මණ්ඩලය, ක්ෂීරපථ, මන්දාකිණි, කළු කුහර ගැන පුදම උපදවනසුලු කතා කියන්නට විය.
වර්ෂාව ඇති වන හැටි ඔහුගේ දැනුමින් ඔහු පැවසුවේ විද්‍යාව ආචාර්යවරයකු සිය සිසුන්ට ඒ පාඩමක් කියාදෙන්නාක් මෙනි.
‘‘ ඇළවල් ගඟවල්වල තියෙන වතුර ඇදල ගන්නව, ඒවයින් වලාකුළු ඇතිවෙනවා, පස්සෙ ඉර කවර් කර ගන්නවා වැහි වලාකුළුවලින්. ඒක තමයි වහින්න ඉස්සර අහස කළුපාට වෙන්නෙ. ඊට පස්සෙ වහිනවා. ඒ වතුර පොළොවට උරා ගන්නවා.”
‘‘එතකොට බෝනුක පුතා දන්නවද Earth එකට ළඟින්ම ඉන්නෙ කවුද කියල.”
‘ඔව් ෆ්‍රොක්සිමා සෙන්චුවරි ග්‍රහලෝකය තමයි අපිට ළඟින්ම ඉන්නෙ. ඒ ස්ටාර් එක ඉරටත් ළඟයි.”
‘‘එතකොට අඟහරු ලෝකෙ ඉන්න කුරුමිට්ටො ගැන අහල තියෙනවද?”
‘‘කුරුමිට්ටො නෙමේ ඉන්නෙ ඒලියන්ලනෙ.”
පෙර පාසල් වියේ පසුවන මේ කුඩා දරුවා සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු විශ්වය ගැන දන්නා දැනුම ඔහු අනාගත නාසා ආයතනයේ විද්‍යාඥයකු වන බවට වූ අනාවැකියන් වැනිය.
අප ඔහුගේ කරුණු විමසන්නට කුඩා මයික්‍රෆෝනයක් සවි කළ විටම ඔහු ඒ ගැන විමසන්නට විය. එහි ක්‍රියාකාරීත්වය, හඬ පටිගත කරගන්නා ආකාරය ගැනද ඔහු සියලු කරුණු විමසුවේය. ‘හඬ පටිගත කරගෙන තබා ගන්නේ ඇයිද?‘ යන්න ගැන ද ඔහු විමසුවේය.
කුඩා බෝනුකගේ පැටිකිරිය ගැන අපි සොයා බැලුවෙමු. බෝනුකගේ වයස අවුරුදු 4කි. තවමත් පෙර පාසල් වියේ පසුවන ඔහුට අවුරුදු එකහමාරේ කුඩා නැඟණියක් ද සිටී. අම්මා අප්පච්චි සහ අත්තා හා අත්තම්මා සමඟ නිවෙසේ දිවි ගෙවන ඔහුගේ විශ්වය ගැන දැනුම් සම්භාරය අතිමහත්ය
2018 වසරේ ජූලි මස පුන් පොහෝ දින එනම් ඇසළ පුන් පොහෝ දින උපත ලබා ඇති බෝනුකට ඇසළ යන නම ලබා දී ඇත්තේ ද ඔහු පුන් පොහෝ දින උපත ලැබූ නිසාය. වෘත්තියෙන් හෝටල් සමූහ ව්‍යාපාරයක ප්‍රධාන ඉංජිනේරුවකු වන ගිම්හාන් රන්දුල සිරිවාසල හේරත් බෝනුකගේ අප්පච්චිය. බෝනුකගේ මව වන්නේ මහනුවර මහ රෝහලේ හෙදියක වන හෂානි වාසනා පතිනායකයි.
නිවසේදී ඉතා කලාතුරකින් ඉංග්‍රීසි භාෂාව ඔහු දෙමවුපියන් සමඟ හසුරවතත් කුඩා බෝනුක නිතරම සිටින්නේ ඔහුගේ අත්තා හා අත්තම්මා හා ඔහු බලා ගන්නා සුදර්ශනී නම් කාන්තාවක් සමඟය. ඔවුහු ඉංග්‍රීසි බස හසුරවන්නෝ නොවෙති. එහෙත් බෝනුක සෞරග්‍රහ මණ්ඩලය ගැන විස්තර කරන්නේ ඉංග්‍රීසි චතුර කථිකයකු මෙනි.
බෝනුකගේ ඇතැම් කතාබහ තමන්ට ද පුදුම උපදවන බව ඔහුගේ පියා වන ගිම්හාන පවසයි.
‘‘පුතාට අවුරුදු එකහමාරක් වගේ වෙනකොට ඉංග්‍රීසි හෝඩියයි, සිංහල හෝඩියයි දෙකම එයා හොඳින් හැදෑරුවා. ඒ කියන්නෙ එයාට ඉංග්‍රීසි භාෂාවෙනුයි සිංහල භාෂාවෙනුයි එක අකුරකින් වචනයක් කියන්න පුළුවන් වුණා. එයාට අවුරුදු දෙක හමාර, තුනක් වගේ වෙනකොට තමයි කොරෝනා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තෙ. ඒ දවස්වල පුතාගෙන් කවුරු හරි ඇහුවොත් හමුදාපති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වගේ අය ගැන එයා කියන්න දන්නවා. එක පාරයි එයාට ඒ වගේ දේවල් අහන්න දකින්න ඕන, පුදුම විදිහට ආකර්ෂණය කර ගන්නවා. ආයිත් දෙපාරක් අහන්න ඕන නැහැ.
ඔය අතරෙ අවුරුදු 3ක් වගේ වෙනකොට තමයි මෙයා සෞරග්‍රහ මණ්ඩලය ගැන විස්තර අහන්න පටන් ගත්තෙ, මම හිතන්නෙ අහම්බෙන් වගේ ඩිස්කවරි වගේ වැඩසටහනකින් මෙයා ඒ ගැන පොඩ්ඩක් දැනගෙන තියෙනවා, ඊට පස්සෙ දිගින් දිගටම විස්තර අහන්න ගත්තා. අවුරුදු 3 ½ක් 4ක් වගේ වෙනකොට කළු කුහර, ආවාට, විශ්වයේ නිර්මාණය වගේ සෞරග්‍රහ මණ්ඩලය වගේම විශ්වයේ බොහෝ දේවල් එයා සොයන්න ගත්තා.
ඉර හැදුණෙ කොහොමද? ඉරේ උෂ්ණත්වය, ගුරුත්වාකර්ෂණය මේ වගේ ගැඹුරු දේවල් එයා අහන්න සොයන්න ගත්තා. පස්සෙ මම පුතාව අභ්‍යවකාශ විද්‍යාව ගැන පාඨමාලාවකටත් යොමු කළා. ඒ අයත් පුදුම වෙනවා මෙයාගෙ දැනුම ගැන.”
කුඩා බෝනුක නිරතුරුවම විශ්වය ගැන දැඩි උනන්දුවකින් පසුවන බව අපට පැහැදිලිවම දක්නට ලැබුණි. ඔහු නිරතුරුවම තමන් හා කතා කරමින් සිතමින්, විශ්වයේ සැරිසරන බවක් අපට පෙනෙන්නට තිබේ. අත් දෙක නිතරම විශ්වය කරා එසවෙන ලකුණු අපට පෙනේ. ඔහු තම අප්පච්චිගෙන් විස්තර දැන ගත් පසුව ඒ ගැන තනිවම සොයන්නට පටන් ගනී. යමක් නිසි ලෙසින් සොයා ගැන්මට අපහසු වුවහොත් පමණක් අප්පච්චිට කතා කර ගූගල් යෙදවුමක් මඟින් එය සොයා දෙන ලෙස ඉල්ලීමක් කරයි. එයද අවශ්‍ය වන්නේ එක් වරක් පමණකි. අවශ්‍ය පමණටත් වඩා ඔහුට සෙල්ලම් කරන්නට
සෙල්ලම් බඩු ඇතත් ඒවා ඔහුගේ සෙල්ලම් බඩු නොවේ.
වරෙක අම්මාගේ වළල්ලක් ඔහුගේ සෙල්ලම් බඩුවක් බවට පත් වේ. ඒ සෙනසුරුගේ වළල්ලය. තවත් විටෙක ඉවත දැමූ ගම් බෝතලයකි. එය ග්‍රහ ලෝකයක් කරා යන රොකට්ටුවකි. නිවස පුරා පොත් පත් පුරා බිත්ති පුරා ඇද ඇත්තේ ග්‍රහ ලෝකය. ඒ ඔස්සේ ඔහුගේ පර්යේෂණ යොමුව තිබේ. ඔහු කුඩා විද්‍යාඥයෙකි. අප ආරම්භයේදී පැවසූ පරිදි ඇත්තෙන්ම බෝනුක අසාමාන්‍ය දැනුමකින් හෙබි කුඩා දරුවෙකි. ඔහු අභ්‍යවකාශය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් හදාරන වචන ගැන දැන ගත්තේ කොහෙන්ද යන්න ගැන අප්පච්චිටද ඇත්තේ පුදුමයකි.
‘‘අපි කවදාවත් ගෙදර ඒ වගේ වචන කතා කරන්නෙ නැහැ, ඒත් මෙයාගෙ වාග් මාලාවෙ පුදුමාකාර විදිහට විශ්වයේ වචන ගොඩක් තියෙනවා, අපටත් හිතා ගන්න බැහැ කොහෙන් ඉගෙන ගත්ත ඒවද කියල, අපි මේ හැකියාව නිසාම එයාව ඉංග්‍රීසි කථන පන්තියකට යොමු කළා. ඒකෙ ගුරුවරයාත් අපෙන් අහනව මෙයාට වෙනම උගන්වනවද කියල, පුතා මේ අවුරුද්දෙ Best Reader හැටියටත් පත් වුණා. එයාගෙ මේ පාර උපන් දිනයට ඉල්ලලා තියෙන්නෙ දුරේක්ෂයක්”
පුංචි බෝනුකට මේ දිනවල ඇත්තේ ස්වාභාවික ව්‍යසන ගැන ගැටලුවකි. සුනාමි ඇති වෙන්නේ කොහොමද? හරිකේන් වැනි කුණාටු තත්ත්වයන් ඇති වන්නේ කෙසේද? ඒ සඳහා ග්‍රහලෝකවල බලපෑමක් ඇතිවෙන්නේද? වැනි කරුණු මේ දිනවල බෝනුකගේ අවධානයට යොමු වී තිබේ. එමෙන්ම ටයිටැන් සබ්මැරීනයට වූයේ කුමක්ද? යන්න ගැනද ඔහු අවධානය යොමු කර තිබේ. එය අනතුරට පත්වීම ගැන ඔහු විවිධ මත ඉදිරිපත් කරයි.
යම් දවසක ඉර නැති වුණහොත් කුමක් වෙයිද? මෙවැනි දේ ඔහු අනෙක් කරුණු සමඟ සංසන්දනය කර බලයි. කිසිදු පැකිළීමකින් තොරව පිළිතුරු දෙන බෝනුක පැයක් හෝ දෙකක් හෝ කිසිදු අපහසුතාවකින් තොරව පිළිතුරු ලබා දෙයි. බොහෝ දේ ගැන ඔහු ගැඹුරින්ම කරුණු විමසා බලයි. සෙවණැල්ල ඇති වන්නේ කෙසේද? කඳුළු ගෑස් ක්‍රියාකාරීත්වය ගැන ද ඔහුගේ සොයා බැලුම් අතර වෙයි. මෙතරම් දැනුම් සම්භාරයක් ලබන්නට ඔහු දැනුම සොයා ගියේ කොතැනටද? එවන් සෙවුම් බැලුම් කරන්නට ඔහුට සිතිවිලි පහළ වන්නේ ඇයි?
‘‘ අපි දන්නෙ නැහැ මේ දැනුම පුතා කොහෙන් සොයා ගත්තද කියල, ඇත්තෙන්ම කන වෙලාවට විතරයි අපි ටීවී එක වුණත් දාලා දෙන්නෙ, ඒ වගේම තමයි කවුරු හරි වැරැදි දෙයක් කිව්වොත් එයා ඒක පිළිගන්නේ නැහැ. ඕනම වයසක කෙනෙක් එක්ක වුණත් බයක් නැතිව කතා කරනවා. කොයිම වෙලාවකවත් තමන් වැඩියෙන් දන්න බවක් පෙන්වන්න යන්නෙ නැහැ. යාළුවොත් එක්ක වුණත් කතා බහ කරන්නෙ සාමාන්‍ය දැනුමක් තියෙන විදිහට විතරයි. ඒත් වැඩිහිටි අයට හොඳින් තේරෙනවා මෙයාගෙ වෙනස. සමහර ඉංග්‍රීසි වීඩියෝ අපට තේරෙන්නෙ නැහැ. ඒත් එයාට තේරෙනවා. එයාට ඒ කතා කරන ශබ්ද මාලා, විශේෂිත වචන, ඒ දත්ත සේරම හොඳින් තේරෙනවා” ඒ බෝනුකගේ මව වන හෂානි වාසනායි.
බෝනුකගේ මේ අසාමාන්‍ය දැනුම ඇත්තෙන්ම පුදුමාකාරය. ඔහු තවමත් පස් හැවිරිදි වියටවත් පත් නොවූ කුඩා දරුවෙකි.
‘‘මොනවද පුතා කන්න කැමති” අනෙක් කුඩා දරුවන් මෙන්ම බෝනුකද එවැනි සුරතල් වදන්වලට ඉතා කැමතිය.
‘‘මම කන්න ආස කෑම තුනක් තියෙනවා. ජෙලි, අයිස්ක්‍රීම්, කප් කේක්” ඔහු සිනාසෙමින් පිළිතුරු දුන්නේය.
‘‘ ඒවා කාලා ගගනගාමියෙක් වෙන්න බෑනෙ, හොඳට බත් එහෙම කන්න එපායැ.”
‘‘කොහෙද අම්ම දෙන්නේ නෑනෙ, මං හරි ආසයි සුදු බත් කන්න, ඒත් අම්ම දෙන්නෙ බෙරි බත්නෙ.”
‘‘බෙරි බත්.”
‘‘ඔව්. එළවළු බත් ඔක්කොම එකට දාල දෙනව, මම ඒවා කන්න කැමති නෑ. මම ඒවට කියන්නෙ බෙරි බත් කියලා” තරමක අප්පිරියාවෙන් ඔහු පිළිතුරු දෙන්නේය.
‘‘කවුද පුතාගෙ හොඳම යාළුවා?”
‘‘සහේලි, එයා අපේ ගෙවල් ළඟ ඉන්නෙ. නංගි බබා බලන්නත් එනවා, එයා තමයි මොන්ටිසෝරියෙ හොඳම යාළුවා.”
පෙර පාසලේදී වුවද බෝනුක නිහඬ චරිතයකි. කෙතරම් නිහඬ වුවද ඔහු තම වටාපිටාව ගැන අවදියෙන් සිටියි. ඔහු යම් කාර්යයක් අවධානයෙන් කරනා අතරතුර ඔහුට කතා කළහොත් හෝ ඔහු ගැන යමක් පැවසුවහොත් එම කාර්යය අවසානයේ ඔහු ඒ ගැන විමසයි.
‘‘ ඇයි මං ප්ලැනට් අඳින වෙලාවෙ ඔයාල මට බැන්නෙ?” ඔහු පසුව විමසයි. ඔහුගේ අවධානය එතරම් තියුණුය. පස් හැවිරිදි වියට පා තබා නැතත් ඔහු හොඳ නරක ගැන ද මනා අවබෝධයකින් සිටිනා බව අපට පසක් වුණි.
‘‘කවුද වැඩියෙන් සැර, තාත්තද?” ඔහුගෙන් ඇසූ අවසන් ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු දුන් පිළිතුරෙන් ඒ බව මනාව පැහැදිලි විය.
‘‘නෝටි වැඩ කළොත් තාත්ත ගහනව” ඔහු සෙමින් සිනාසෙමින් පිළිතුරු දුන්නේය.
කුඩා බෝනුකගේ මේ අසාමාන්‍ය දැනුම ගැන එක් එක් අය විවිධ මත දරන්නට ඉඩ ඇත. ඒ ගැන පුරෝකථන කරන්නට අපට නොහැකි නමුත් ඔහු හා කතා කළ අවස්ථාවන්හිදී අවබෝධ කරගත් කරුණු අනුව අපට නම් සිතෙන්නේ මෙය පෙර භවයකදී ලද දැනුමේ නූතන ප්‍රතිඵලයක් බවයි. එසේ නොවන්නට අවුරුදු 5ක් නොඉක්මවූ මේ කුඩා දරුවාට විශ්වය පිළිබඳ ඉංග්‍රීසි සහිතව වූ මේ දැනුම කොතනින් ලැබුණේද යන්න අපට පමණක් නොව මේ කතාවේ කියැවුණු පරිදි ඔහුගේ දෙමවුපියන්ට ද ගැටලුවකි. ඔහුගේ මේ විශ්වීය දැනුමට, අභ්‍යවකාශ දැනුමට අතහිත දෙන්නට හැකි නම් එය ඇත්තෙන්ම බෝනුකගේ දැනුම ඉහළ දැමීමටත් වඩා ලංකාවෙන් නාසා ආයතනයට විද්‍යාඥයෙක් බිහි කිරීමක් වනු ඇත. බෝනුක ස්වයං අධ්‍යයනයක් සිදු කරන කුඩා දරුවෙකි. ඔහුගේ විසිරුණු දැනුම එක් රැස් කරන්නට උපකාරී කරන්නට හැකිනම් එය මහත් උපකාරයක් වනු ඇත.
සේයාරූ- විමල් කරුණාතිලක
තාරක වික්‍රමසේකර
සිළුමිණ