4 3

අවුරුදු චාරිත්‍ර වත්මන් සමාජයට ගැළපෙන අයුරෙන් වෙනස් කළ හැකියි-

සුභද්‍රා දේශප්‍රිය -සිළුමිණ

වසරක් මැද ලබන මේ නව වසර යනු කුටුම්භය එකම මොහොතකට එකම ස්ථානයකට ඒකරාශි කරන චාරිත්‍රයකි. එනම් සමාජයේ මූලික ඒකකය වන පවුල එකම තැනකට එක්රැස් කිරීමකි. කිසියම් රටක චර්යා ධර්ම සංස්කෘතියක ඉතා වැදගත් අංගයකි. මේ චර්යා ධර්ම යනුවෙන් අර්ථ දැක්වෙන්නේ හැසිරෙන ආකාරයයි. එහිදී ඒ චර්යා ධර්මයන් අනුව යම් සම්ප්‍රදායක් තුළ යම් දේ කළ යුතුයි සහ යම් දෙයක් නොකළ යුතුයි යනුවෙන් වේ. මේවා අපි හඳුන්වනුයේ චාරිත්‍ර වාරිත්‍ර ලෙසයි. එසේ නොමැති නම් සිරිත් විරිත් යනුවෙනි. යම් කිසි සාරධර්මයක් ක්‍රියාවට නැංවීම කරනු ලබන දේ චාරිත්‍රය වෙයි. ඒ ගුණධර්මයෙහිම නොකරන දෙය වාරිත්‍රය නම් වෙයි. ඒ කරන දේ අපිට ඇසට පෙනෙන අතර වාරිත්‍ර ඇසට නොපෙනෙන කෘත්‍යයයි.

අපේ සංස්කෘතිය හා බැඳී පවතිනු ලබන මේ චාරිත්‍ර සහ වාරිත්‍ර එකම අර්ථයෙන් එකම ක්‍රියාවක් ලෙස බොහෝ දෙනා එකම අර්ථයෙහිලා සලකයි. එහෙත් බොහෝ දෙ‍ෙනකු වාරිත්‍ර පිළිබඳ හරියාකාරයෙන් දැනුම්වත් වී නැති බව පෙනෙයි. වාරිත්‍රයේ පවතින්නේද චාරිත්‍රයෙහි අපේක්ෂිත නොපෙනෙන යථාර්ථයකි. එනම්, යම් ගුණ ධර්මයකි.

අප්‍රේල 14 වෙනිද ඇරැඹෙන්නේ වසරක් මැද නව වසරක උදාවකි. එය නියත වශයෙන් උදා වන්නේ කෙදිනද යන්න පිළිබඳ නිවැරැදිව සොයා ගත යුතුය. මෙය සූර්ය ගමනට අනුව සිදු වෙයි. ක්‍රිස්තු වර්ෂ අනුව දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ඊළඟ වසර ආරම්භ වෙයි. එහෙත් සිංහල හින්දු නව වසර යනුවෙන් හඳුන්වන මේ නව වසර සූර්යයාගේ ගමන මත පදනම් වූ නිසා එය වසරින් වසර වෙනස් වෙයි. එය සිදු වන්නේ පෘථිවියේ ගමන් මඟ අනුවයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන මොහොත නව වසර උදාවයි. ඒ අවස්ථාව සමඟ බැඳුණ අවුරුදු සිරිත් විරිත් සහ අපේ ජනශ්‍රැතියේ එන විශේෂාංග රැසක් වෙයි. විශේෂයෙන් සිංහල අලුත් අවුරුදු උදාව යනු කෘෂි සංස්කෘතිය මත පදනම් වූවකි. එනම්, එය අපේ ගොවිතැනට සම්බන්ධ වෙයි. මේ ගොවිතැනට ඉර හඳ අත්‍යවශ්‍ය සාධකයක් නිසා අතීතයේ ගැමියෝ ඉර සඳ දේවත්වයෙන් සැලකූහ.

සිංහල අවුරුදු චාරිත්‍ර පිළිබඳ කතා කිරීමට පෙර අපි චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සරල පැහැදිලි කිරීමක් කරගත යුතුය. කාලයාගේ ඇවෑමෙන් සංස්කෘතිය සහ සිරිත් විරිත් ඒ ඒ කාලයට සාපේක්ෂව යම් වෙනසකට බඳුන් විය. ඒ අනුව වර්තමානය වනවිට පරණ සිංහල සිරිත් විරිත් යම් වෙනසකට ලක් වී ඇති බව පෙනෙයි. අද විශ්වය අතැඹුලක් සේ ගනු ලැබිය හැකිය. එසේම ගෝලීයකරණය නිසා ලෝකය අනුව රට වෙනස් වෙයි. රට අනුව ගම, නගරය වෙනස් වෙයි. විශේෂයෙන්ම සමාජය සංකීර්ණ වීමත් සමඟ ගැමියා නගරයට සංක්‍රමණය වීම සිදු විය. නාගරීකරණයත් සමඟ මේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර යම්කිසි වෙනසකට ලක්වී ඇත. නව වසර උදාවෙන් පසුව පරණ තරහා මරහා පහව යයි. අසල්වැසියන් සමඟ ඇතිවූ විරසක පහව ගොස් නව සම්බන්ධතා ඇති වෙයි.

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සාකච්ජා කිරීමේදී එහිදී අපේ සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර වෙයි. එහිදීද සිංහල හා හින්දු අවුරුදු චාරිත්‍රවලත් සිරිත් විරිත් යනුවෙන් දෙකොටසක් වෙයි. එය කරන සහ නොකරන ලෙස හැඳින්විය හැකිය. නොයෙක් හැඩතල අනුව එදා සිට අද දක්වා සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පවත්වා ගෙන එයි. චාරිත්‍රානුකූලව ගතහොත් නොනගතයේදී කළ නොහැකි ක්‍රියා කිහිපයක් වෙයි. එනම්, විරිත් කිහිපයක් වෙයි. නොනගතයේදී ගිනි දැල්විය නොහැකිය. අලුත් අවුරුද්දට පෙර මුළුතැන්ගෙය අලුත්වැඩියා කර හුනු පිලියම් කර අලුත් අවුරුදු උදාවේදී ලිපේ අලුත් ගින්දරක් දැල්වීම සිදු කරනු ලබයි. නොනගතයේදී ලිප ගිනි නොදැල්වීම විරිතකි. නොනගතයේදී ජලය සමඟ ද ගනුදෙනු නොකරයි. ඒ අවස්ථාවේදී කිසිවකුත් ළිඳට නොයයි. කලින් ජලය රැස් කර ගනී.

එදා නව වසරේදී මහගෙදරට සියලු දෙනා ඒකරාශි වෙයි. නව වසරේ විසිරී ගිය පිරිස ගමට පැමිණෙයි. මවුපියන් වෙනුවෙන් රෙදිපිළි තෑගි භෝග රැගෙන දරුවෝ ගමට එති. රටම එක් අවස්ථාවක සියලු වැඩ අළලා ඉන්පසු එකම වරක ලිප ගිනි මොළවයි. පවුලේ සියලු දෙනා එකතු වී පන්සලට යනු ලබයි. නොනගතයට පන්සලට ගොස් ආගමික වතාවත්වල යෙදෙයි. සුබ නැකත ලැබුව පසු අඟුරු, සුදු මල් තඹ කාසියක් දමා ළිඳ පවිත්‍ර කර ළිඳ සමඟ ගනුදෙනු කරයි. කෘෂිකාර්මික ආර්ථික රටාවකට හුරුවී සිටින ගැමියෝ නැකතට කුඹුරට, හේනට යෑම සිදු කරති. මේ චාරිත්‍රය වර්තමානයේ දී එය තමන්ගේ ජීවන වෘත්තියට අදාළව යම් කාර්යයක් කිරීමක් බවට පත් කරගත හැකිය. අලුත් හැළියක අලුත් ලිපක අලුත් ජලයෙන් අලුත් සහලින් අලුත් ගින්නකින් අලුත් කිරිවලින් ලිප ගිනි මෙළවීම කරයි. වසරක් ගෙවී නව වසරක උදාවත් සමඟ ජනතාවගේ මනස යළිත් පුබුදුවාලීමට නව ආකාරයෙන් සිතීමක් මෙහිදී සිදු වෙයි.

දරුවන්ට නොනගතයේදී සාම්ප්‍රායික සංස්කෘතිය හා බැඳුණු ක්‍රිඩාවන්වල නිරත විය හැකිය. පංච දැමීම, ඔළිඳ කෙළිය, මේවර කෙළිය, දාදු කෙළිය වැනි ක්‍රීඩාවල නිරත වෙයි. අවුරුදු ක්‍රීඩා අනිවාර්යෙන්ම සිංහල අවුරුද්දට කළ යුතු සිරිතකි. එයට හේතුව නොනගතයේදී වැඩ කිරීමට නොහැකි නිසාය. වැඩ නොකිරීම විරිතකි. එමෙන්ම ක්‍රීඩා කිරීමෙන් සහයෝගිතාව වර්ධනය වෙයි. අද වන විට මේ සංකීර්ණ සමාජ වටපිටාව තුළ මේ දේවල් ප්‍රායෝගිකව කළ නොහැකි බව ඇතැමුන්ගේ අදහසයි. එහෙත් සම්ප්‍රදාය සමඟ බැඳුණු මේ දේ කළ යුතුයි. ලිප් බැඳ ගිනි මොළවා යනුවෙන් මේ චාරිත්‍ර වෙයි. නැවත ලිප ප්‍රතිසංස්කරණය කර ගිනි මෙළවිය යුතුය. වැඩ ඇල්ලීම වැනි කරුණුවලදී නව වසර උදාවී නව සඳබැලීම ජීවිතය නැවත වරක් අලුත් වීමක් ලෙස සලකයි. මේ සිරිත් විරිත් වාච්‍යර්ථයෙන් ගනු නොලැබෙයි. සැබවින්ම මේ සියලු සංස්කෘතික සාධක අනාගතයේදී පවත්වා ගෙන යා යුතුය.

එය නාගරීකරණය වූ අද සමාජයට ගැළපෙන ආකාරයෙන් වෙනස් කළ හැකිය. එනම් එහි අදහස ආහාර පිසින තැන සුද්ද පවිත්‍ර කිරීමයි. එදා අතීතයේ මේ ලිප ගිනි මෙළවීම සිදු කරනු ලැබුවේ පිසින ගෙය තුළයි. ලිප මෙළවීම සිදු කරනු ලැබූයේ ලිප් ගල් තුනක් මතයි. ගොම මැටි ගා පවිත්‍ර කරගන්නා ලිපේ දැවී ගිය අළු ආදී සියලු දේ ඉවත් කර නැවත නව වසරකට සූදානමක් එයින් ඇඟවේ. ළිඳ සමඟ ගනුදෙනු කිරීම යනුවෙන් සඳහන් වුවත් අද බොහෝ විට ළිඳක් නාගරික සමාජවල දක්නට නැත. නමුත් මෙයින් අදහස් කරනුයේද ජලයට ගරු කිරීමයි. වසරක් පුරාම ජලය සපයන ළිඳට ගරු කරන්න යනුවෙන් ඉගැන්වීමක් වෙයි. ළිඳට නිදහසක්, විවේකයක් දීම එහි අදහසයි. ජලය යනු අපේ ජිවිතයට නැතුවම බැරි දෙයක් බැවින් එයට ගරු කළ යුතුය. මේ සමහර චාරිත්‍ර වාරිත්‍ර වාච්‍යර්ථයෙන් මතුපිටින් ගැනීමට නොහැකි වෙයි. නැකතට වැඩ ඇල්ලීම සම්බන්ධයෙන් ඇත්තේද එවැනි දෙයකි. මුළු රටක්ම එක මොහොතකදී වැඩ කිරීම තුළ සමගිය, සහයෝගය, සුහදතාව වර්ධනය කර ගැනීමේ හැකියාව ඇතිවනු ඇත.

නැකත යනු හොඳ වේලාව යන්නයි. නව වසර සඳහා ලිප ගිනි මොළවන තෙක් නොනගතයයි. මේ කාලය තුළ නැකතත් නොමැති බව පැරණි ජනයා විශ්වාස කළහ. ඒ කාලය තුළ සියල්ලෝම සියලු වැඩ නවතා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වෙති.

ලිප ගිනි මොළවන නැකත උදාවත්ම නැවත නිවෙසේ වැඩ ඇල්ලීම ආරම්භ වී ක්‍රියාශීලී වෙයි. අලුතින් බැඳි ලිප මත අලුත් හැළියක අලුත් සහලින් කිරි බතක් පිසීමට සැම නිවෙසකම මව ප්‍රමුඛ වෙයි. පළමුව අනුභව කරන ආහාරවේලට පියා ප්‍රමුඛව කිරිබත්, කැවුම්, කෙසෙල් අනුභවය සිදු කරයි. මේසයට සුදු රෙද්දක් එළා ඒ මත ආහාර තබා පොල් තෙල් පහනක් තැබීම සිරිතකි. සියල්ලෝම එකම නැකතකට ආහාර අනුභව කරති. එයින් පවුලේ සහජීවනය, සමගිය උදා වෙයි. වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම සිරිතකි. කෘෂිකාර්මික ක්‍රමවේදයක් ඇති පැරැන්නෝ උදැල්ල ගෙන නැකතට වැඩ කරති. පැළයක් හෝ සිටුවයි. ගෘහණිය ද චාරිත්‍රානුකූලව වැඩ ඇල්ලීම කරයි. ළමයින් පාසල් පොත්වල වැඩ කටයුතුවල නිරත වෙයි.

හිස තෙල් ගෑමේ චාරිත්‍රයද නව අවුරුදු උදාවෙන් පසුව සිදු වන අතර, ඖෂධ ගුණ ඇති කොළ වර්ගවලින් සෑදු තෙල් ගල්වා සියලු දෙනා නැකතට ස්නානය කරයි. එදා නැකතට ස්නානයට නාන කාමර නොතිබුණ අතර, එකල බෙහෙත් තෙල් ගල්වා සියලු දෙනා ළිඳ ළඟ රැස්වී නැකතට ස්නානය කරයි. පසුගිය වසරේ ඇතිවූ යම් යම් ගැටලු, නොහොඳ නෝක්කාඩු විසඳා ගැනීමට හොඳම කාලය මෙයයි. සුහද හමුවීමක් එහිදී වෙයි.

අලුත් අවුරුද්ද සමයේ තම දරු පවුලත් සමඟ නෑදෑ හිතවතුන් දැකීමට ගොස් නෑදෑ හිතමිතුරුකම් වර්ධනය කරගැනීම, අමනාප දුරු කරගැනීම ද සිදු වෙයි. මෙලෙසින් ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හින්දු නව අවුරුද්ද තුළ සාම්ප්‍රදායික සිරිත් විරිත් සහ උරුමයන් වෙයි. සිංහල ගැමි සමාජයේ ආගමික, සමාජ, සංස්කෘතික, සමාජ විශ්වාස සහ ඇදහිලි, ආගමික සංකල්ප සමඟ එකට ගැට ගැසී මේ අවුරුදු සිරිත් විරිත් ගොඩනැඟී ඇත. අපේ සංස්කෘතිය හා බැඳුණ ජනශ්‍රෑතියත් සමඟ බැඳී ඇති ඉර, හඳ වන්දනාමාන කිරීම සහ නව සඳ බැලීම සිදු වෙයි. ඉර, හඳ ආදි සියල්ල කෘෂි ආර්ථීකය හා ගොවිතැන සමඟ සම්බන්ධ වී ඇත.

එදා කැවිලි සෑදීම සිදු කරනු ලැබුයේද මහ පොළොවෙන් බිහිවන ධාන්‍යවලිනි. කැවුම්, මුංකැවුම් ආදී කැවිලි කිසිවක් ශරීරයට අහිත කර නොවෙයි. සිරිත් මෙන්ම සාම්ප්‍රදායික වෙද හෙදකමත් වෙයි. අවුරුදු කාලවලදී නාගරික ජනයා ගම්බිම් බලා යන්නේ අපේ සංස්කෘතියට තවමත් ගරු කරන නිසාවෙනි. එය ඉබේම වාගේ සිදු වන ක්‍රියාවකි.

වත්මන් ඇතැම් පිරිස්වලට නව වසර උදාවේ නියම අරුත වැටහී නැත. අවුරුද්දක් ගතවී අලුත් අවුරුද්දක් උදා වීම ගැන හැඟීමක් තිබුණ අප අද නාගරීකරණය වූ සමාජයේ අවුරුදු සමරන්නේ ඇයිද යන්න පිළිබඳ එතරම් දැනුම්වත් වීමක් නැත. කැලැන්ඩරයක කොළයක් මාරු වීමට වඩා දෙයක් මෙහිදී සිදු වෙයි. කායික වශයෙන් අලුත් ඇඳුම්, නිවෙස් අලුත්වැඩියා කිරීම, උයන පිහින ස්ථාන සියල්ල නැවුම් වීම තුළ වෙහෙසකර ජන ජීවිතය නැවත නවීකරණය වීමක් සිදු වේ. පරණ දෑ ඉවත් කිරීම, හිත මිත්‍ර නෑදෑයන් අතර අමනාපකම් දුරුවී සියලු සම්බන්ධතා අලුත් වීමක් සිදු වෙයි.

අපේ සිංහල හින්දු චාරිත්‍ර යල් පැන නොයන අතර, අවුරුදු චාරිත්‍ර යල් පැන ඇතැයි සිතීමට හේතු කාරණාව වන්නේ එහි උඩු අරුත එනම් වාචර්ථය පමණක් ගැන්වූ විටයි. එහි යථාර්ථය අපි දැනගත යුතුය. සමගිය, සහජීවනය, කෙ‌ළෙහිගුණ සැලකීම, ගින්න, ජලය, කිරි යන අංග සමඟ අපේ ජීවිත බද්ධ වී පවතී. සම්ප්‍රදායික ජීවන රටාව තුළ ජනතාව නීරෝගිමත්ව සහජීවනයෙන් යුතුව ජීවත් වූ අතර, සංකීර්ණ සමාජ වටපිටාවෙන් මිදී සාම්ප්‍රදායික අපේ ජීවන රටාවට නැවත වරක් කැඳවා ගෙන යාමක් වසරක් පාසාම සිදු වෙයි. මෙය අපි සැමරිය යුතු වන්නේද ඒ හේතු කාරණා මුල් කරගෙනයි.

පැරණි වෙදකම් ඥාති මිත්‍රකම් නැවත අලුත්වැඩියා කර ගැනීම නැවත සමාජ සම්බන්ධතා ගොඩනැඟීමට හැකි වීම වැනි දේ මෙන්ම එකම වෙලාවක, රටම එකම කටයුත්තක යෙදීම තුළ සහයෝගිතාව ගොඩනැඟීමට සහ ජාතික සහජීවනය ඇති කරගැනීමක් සිදු වෙයි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීම එදා සිට අද දක්වා සමරනු ලබයි. to renew යන කරුණ මෙහි අදහස වෙයි. මතුපිට වන වාච්‍යර්ථයේ ඇති අදහස නොවෙයි. අද වෙන විට සමාජ ක්‍රමය වෙනස් වුවත් මතු පිටින් ඇති වාච්‍යර්ථයෙන් ගෙන අපේ සිරිත් විරිත් සම්බන්ධයෙන් යථාර්ථය වටහා ගත යුතුය. මෙරට නූතනයට පමණක් නොව බටහිර රටවලට පවා අපේ සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර ඉතාමත් වැදගත් වෙයි. සර්ව කාලයටම ගළපා ගැනීමට නම් වසරක් පාසා වන සංස්කෘතික සාධකය අනුව අපි නැවත අලුත් වීම වැදගත් වෙයි.

කෙසේ වෙතත් ක්‍රි.ව. ආරම්භයේදි ඉන්දියාවේ පහළ වූ බලවත් රාජවංශයක් තමන්ගේ නම පැවතීමට නව දින දර්ශනයක් හදා ගනු ලැබිණි. ශකවරුන්ගේ වර්ෂය ශක වර්ෂයයි. ක්‍රි.ව.78න් පසුව මෙය භාවිත විය. මේ ශතවර්ෂය ගණන් ගනුයේ සිංහල බෞද්ධයන් පමණයි. අද වෙන විට නාගරිකරණය වූ සමාජයේ මේ සිරිත් විරිත් යටපත් වී ඇත. එහෙත් අපේ සංස්කෘතිය හා බැඳුණ අපිට අනන්‍ය වූ මේ සාධක සැබවින්ම අනාගත පරපුර වෙනුවෙන් පවත්වා ගෙන යා යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *