1 1

හැම කෙනෙක්ම මාව අගය කළා මිස වැටෙන්න ඉඩ දුන්නේ නැහැ-DARSHANA WICKRAMATUNGA

විසිපස් වසරක සංගීත දිවිය සමරමින් “සඳගිර” Live in concert පෙබරවාරි 25 වැනිදා නෙළුමි පොකුණ රඟහලේදී

බාල කාලයේ පටන්ම මට සංගීතය පිළිබඳ යම් හැකියාවක් ඇති බව හඳුන ගත්තේ මගෙ අම්මයි තාත්තයි දෙන්නා. ඔවුන් මට ඉගෙන ගන්න වගේම සංගීතය විෂය හදාරන්නත් නිරන්තරයෙන්ම උනන්දු කළා. අම්මයි තාත්තයි අපි පුංචි කාලේ පටන්ම ගීත ගායනා කරනවා. අක්කයි මමයි ඒවා අහගෙන හිටියේ හරිම ආසාවෙන්. මට කැසට්පට ගෙනැත් දෙමින් ඔවුන් කළ කැපකිරීම කිසිම දවසක මිල කරන්න බැහැ.

දැන් මගෙ අම්මගෙයි තාත්තාගෙයි වයස අවුරුදු හැත්තෑ පහයි. මට හිතුණා මේ දෙන්නා වෙනුවෙන් ගීතයක් කරන්න ඕන කියලා. ගීතය ලිව්වේ ප්‍රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා. අම්මයි තාත්තායි කැමැති වෙයිද මේ ගීතය ගයන්න කියන සැකය මගෙ හිතේ තිබුණා. මම හිතේ දෙගිඩියාවෙන් තමයි අම්මටයි තාත්තාටයි ගීතය ගයන්නට ආරාධනය කළේ. ඇත්තටම ඔවුන් දෙන්නා බොහෝම කැමැත්තෙන් ඒ ගීතය ගායනා කළා. මගේ සංගීත දිවියේ මට දැනෙන ලොකුම සතුට එයයි. මගේ බිරිය සමාධිගෙන් මට හොඳ සහායක් ලැබෙනවා. ඒ වගේම තමයි මගෙ දුවලා තුන්දෙනා (පවනි, ඉසිනි, කුරවි) ඒ තුන්දෙනාගෙන් ලැබෙන සහායත් අපමණයි. මගෙන් ගෙදර දේවල් මඟ හැරෙන අවස්ථා තියෙනවා. ඒ හැමදේම ඔවුන් ඉවසනවා. ඔවුන්ගෙන් ලැබෙන ඒ සහායම ඇති මට මේ ගමන යන්න.. “

අපත් සමඟ එසේ පැවැසූවේ සිය සංගීත දිවියේ විසිපස් වසක් සපුරන ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගයන්ය. 

1 2 37

කොළඹ අශෝක විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද දර්ශන සංගීත විෂය සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නේ පාසැල් වියේ සිටමය.

1998 වසරේදී සිංග් ලංකා ආයතනයෙන් ගී තනු නිර්මාපකයින් සඳහා අවස්ථාව උදාකරමින් පළ කළ දැන්වීමකට අනුව දර්ශන මුලින්ම තමන් විසින් පද රචනය කර, තනු නිර්මාණය කළ, ගිරි සිරසින් යන ගීතය යොමු කරන්නේය. ගීත හාරසියයක් අතරින් තේරී පත් වූ දර්ශන යොමු කළ ගීතය අවසන් ගීත දාසය අතරට තේරී පත් වන්නේය. ඔහුගේ සංගීත දිවියේ නිල ගමන් මඟ දිග හැරෙන්නේ එතැනි සිටය.

දර්ශන එදා ලියූ ගිරි සිරසින් ගීතය නන්දා මාලනිය විසින් එළිදක්වනු ලැබූ මලට රේණු සේ ගීත සමුච්චයට එක් වන්නේ එලෙසිනි.

“මගේ සංගීත දිවිය ඇරඹෙන්නේ එතැනින්. 1999 වසරේ යෞවන සම්මාන උලෙළ සඳහා මම ජීවිතය නමින් සංගීත සංධ්වනියක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය සඳහා මට ප්‍රථම ස්ථානය හිමිවෙනවා. ඒ වගේම 1999 අවුරුද්දේ පවත්වනු ලැබූ තුරුණු ශක්ති තාරුණ්‍යයේ සෞන්දර්ය චාරිකාව සඳහා රචී සිරිවර්ධන විසින් ලියා කාංචනා හේරත් විසින් ගැයූ ලිහිණියේ නාඬා හිඳින් ගීතය

සඳහා තනු නිර්මාණ කරන්නේ මම. ඒ ගීතයේ තනු නිර්මාණය වෙනුවෙන් සම්මානය හිමි වන්නේ මට. 2014, 2015, 2016 වසරවල රාජ්‍ය සංගීත උලෙළේ හොඳම ගී තනු නිර්මාණය සඳහා සම්මාන ලැබුවා. ඒ හැරුණ විට 68 වන නිදහස් සමරු උත්සවය වෙනුවෙන් කළ රාං කුරුව දූපත ගීත නාටකය සඳහා සංගීත නිර්මාණය කිරීමට මට අවස්ථාව ලැබෙනවා. “

දර්ශන තමන් පැමිණි ගමන් මඟ පිළිබඳ පවසන්නේ එලෙසිනි. ඒ හැරුන විට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ටවුමේ ඉස්කෝලේ, වැලි පවුරු , නිහඬ සෙවණැලි චිත්‍රපට සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත ලොක් ඩවුන් චිත්‍රපට සඳහා ද සංගීත අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව දර්ශනට හිමි විය. ඒ හැරුන විට සුදත්ත තිලකසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද මාලතී මලක්, අඳුරු සෙවණැලි, සිකුරු වසන්තේ, නේරංජනා ටෙලි නාට්‍ය ද, අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සමනලුන්ට එන්න කියන්න‘ වැනි ටෙලි නාට්‍ය රැසක සංගීතය නිර්මාණ කිරීමේ අවස්ථාව දර්ශනට ලැබිණි.

මේ හැරුන විට දර්ශන විසින් සංගීතවත් කරන ලද ජනප්‍රිය ගී රැසකි.

කරුණාරත්න දිවුල්ගනේ ගයන ශාමිලා හුසේන් විසින් ලියූ

‘කොහේ හෝ නුඹ නතර වී‘, ක්‍රිශාන්ත එරන්දක ගයන රසික ඩී දුමින්ද විසින් පද රචනා කරන ලද ‘අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක‘, හර්ෂණ දිසානායක ගයන ආචාර්ය නන්දසිරි කිහිඹියාහෙට්ටි ලියු ‘හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී‘, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන තරින්ද ගුණවර්ධන පද රචනා කළ ‘හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී‘, සශිකා නිසංසලා ගයන ආරාධනා ඒකනායක පද රචනා කළ ‘රාවණා මා ඔබේ සීතා‘, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයන කමලා මැණිකේ වීරසේකර පද රචනා කළ ‘මට තනියම පිය නඟන්න බෑ මේ ගිරි මඟ‘ ආදි වූ ගීත රැසක සංගීත නිර්මාණකරුවා වන්නේ දර්ශනය. අද වන විට ගීත 1500 වැඩි සංඛ්‍යාවකට සංගීත නිර්මාණය කර ඇති අතර තම සංගීත දිවියට විසිපස් වසක් පීරිම නිමිත්තෙන් මේ මස 25 දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් පවත්වන්න සූදානම් කර ඇත්තේය. එය නම් කර ඇත්තේ “සඳ ගිර“ Live in Concert නමිනි.

“ මේ ප්‍රසංගයේදී අපේ ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායක ගායිකාවෝ රැසක් ගී ගයනවා. රඹුලිකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ වගේම සුනිල් ආර්. ගමගේ, බණ්ඩාර ඇහැලියගොඩ, රත්න ශ්‍රී විජේසිංහ යන ගීත රචනා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ නිරන්තරයෙන්ම මට සහාය දක්වනවා. ඔවුන්ගෙන් ලැබෙන සහාය වගේම අනෙකුත් සහෝදර ශිල්පීන්ගෙන් ලැබෙන සහායත් අපමණයි. මම බොහෝම ආඩම්බරයෙන් මේ කතාව කියන්නේ. මම මේ ක්ෂේත්‍රයට පැමිණි දා පටන් මට හැමෝගෙන්ම ලැබුණ සහාය අපමණයි. හැම කෙනෙක්ම මාව අගය කළා මිස මට වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන් මාව අගය කළා. ඒ හැම කෙනෙකුටම මම ස්තුතිවන්ත වෙනවා….“

පිය මැන ඇවිදින් හැම වාරේ
භවයෙන් භවයට අත නෑරේ
මල් විකසිත විය මං තිරේ
යළි හමු වේවා සංසාරේ…

එකමුතු වී හිඳ රන් රස සේ
දුක හා සැප අත් විඳ සමසේ
කාලය ගත කළ හැටි නිවසේ
සිහිපත් වෙයි මට හැම දවසේ…

අපි පූරුවේ කළ පින් බෙලෙන්
යහපත් දූ දරුවන් ලැබුණේ
මුණුබුරු කැල හා මෙහි පැමිණි
ජීවිතයම සතුටින් ගෙවුණේ…

කිසිවක් නැහැ කිසිදා පැවැතී
බුදු බණ අබියස සිත නවතී
කෙලෙසක ඉන්නද මෙහි නැවතී
කවදා හෝ නිවෙනින් නිවෙතී…

ගායනය කුමාර වික්‍රමතුංග
පියසීලී වික්‍රමතුංග
පද රචනය – බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය – දර්ශන වික්‍රමතුංග

ඉනෝකා සමරවික්‍රම- සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *