12bbb

ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් වරදින්න පුළුවන් තැන්

ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා කතාවට කියනවානේ. වැඩිපුර හිත හොඳ කෙනෙක් වුණාමත් ගොඩක් අවස්ථා වලදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි බලමු ගොඩක් හොඳ කෙනෙක්ට වුණත් ජීවිතේ වරදින්න පුළුවන් තැන් මොනවද කියලා. එතකොට ඔයාටත් පුළුවන් ඒ අවස්ථා මොනවද කියලා දැනගෙන ඒව මඟ ඇරගෙන ජීවිතේ සාර්ථකව කටයුතු කරගෙන යන්න.

1. අනවශ්‍ය ලෙස කැපකිරීම් කිරීම

හැම බැඳීමකම සාර්ථකත්වය රඳා පවතින්නේ දෙදෙනාම එකිනෙකා වෙනුවෙන් කරන කැප කිරීම් මතයි. බැඳීමක් වෙනුවෙන් ආයෝජනය කරන එකම කෙනා ඔයා විතරක් විය යුතු නැහැ. ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි මෙතැන. තමන්ගෙ මිත්‍රත්වය හෝ සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔයා ඕනවටත් වඩා මහන්සි වෙනවා ඇති, කැප කිරීම් කරනවා ඇති, ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය සමහර විට මුදල් පවා වියදම් කරනවා ඇති. ඒත් ඔයා කොයි තරම් කැප කිරීම් කළත් අනිත් කෙනා ඒ තරම් දෙයක් කරන්නේ නැති වෙන්න පුළුවන්. අමතක කරන්න එපා ඒකපාර්ශ්වික බැඳීමක් ගොඩක් තාවකාලික බව. ඒ වගේම අවසානයේ දී ඔබට ඉතිරි වන්නේ හිත් රිදීමක් පමණක් බව මතක තියාගන්න.

2. ඉක්මනින් සමාව දීම

“වැරදි කිරිම මනුස්ස ගතියක් සමාව දිම දේව ගතියක්“ මේ දේ ඔයා අහලත් ඇති. වරදක් පිළිගැනීම වගේම වැරැද්දකට සමාව දීම මිත්‍රත්වයකදී මෙන්ම සම්බන්ධතාවයකදී හරිම වැදගත් දෙයක්. ඒ වගේම ශක්තිමත් සම්බන්ධතාවයකදී අත්‍යවශ්‍යම දෙයක්. එහෙත් ජීවිතේ සමහර අවස්ථා තියෙනවා එකවර අනිත් කෙනාට සමාව දෙන්න බැරි, නිතරම එකම වැරැද්ද කරන කෙනෙක්ට තවත් අවස්ථාවක් දෙනවා නම් ඒ ගැන හොඳට හිතලා බලන්න ඕන. ඔබ ඉක්මනින් සමාව දෙනවා කියන්නේ ඒ කෙනාට ඒ වරදම නැවත වතාවක් කරන්න හොඳ පිටිවහලක්. මේ නිසා ඔබ කෙනෙක්ට සමාව දෙද්දී මේ ගැනත් හොඳින් හිතා බලන්න අමතක කරන්න එපා.

3. නිතර available වීම.

මෙතැනත් බොහෝදෙනෙක් වරද්ද ගන්න තැනක්. ප්‍රේම සම්බන්ධතාවයකදී මෙය බොහෝවිට දකින්න පුළුවන්. නිකමට හිතන්න ඔබ අලුතින් කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා කියලා. නිතරම එයා වෙනුවෙන් කාලය ගත කරන්න පුළුවන් කියලා එයාට දැනෙන්න දෙන්නයි ඔයාට ඕනෑ. හැබැයි ඔයාගෙ වැඩ ඔක්කොම පැත්තකින් තියලා හැමතිස්සෙම එයා වෙනුවෙන් ඉන්න එක සම්බන්ධතාවයකදී අහිතකර විදියට බලපාන්න පුළුවන්. කවුරුත් කැමති නෑ තමන්ටම කියලා අරමුණක් නැති කෙනෙක් එක්ක ජිවත් වෙන්න. ඔයාගේ ජීවිතයේ එකම අරමුණ එයා පමණක් බව එයාට දැනුණොත් ඒ සම්බන්ධතාවය ගැන අනිවාර්යෙන්ම එයා නැවත හිතා බලන්න පුළුවන්. මේ නිසා එයා හිතන්න පුළුවන් ඔයාගේ ජීවිතයට එයාට ඕන ඕන විදිහට බලපෑම් කරන්න පුළුවන් කියලා. ඒ නිසා අනිත් අයට ඔබේ ජීවිතයෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න බැරි විදියට කටයුතු කළොත් ඒක ඔබේ සාර්ථකත්වයට හොඳ රුකුලක්.

4. සැකය ඇති වීම

ඕනෑවට වඩා කරුණාවන්ත වෙන එකත් එතරම්ම සුදුසු දෙයක් නෙවෙයි. ඔබ ඕනවට වඩා හොඳ කෙනෙක් කියල පෙන්නන්න උත්සහ කළොත් අනිත් අයට ඒ පිළිබඳ සැකයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට අනිත් අය ඔයා ගැන වැරදියට හිතන්න පුළුවන්. කෙනෙක් මේ තරම් කරුණාවන්ත මෙන්ම හොඳ බව පෙන්නන්නෙ එයාගේ යටි හිතේ වෙනත් අරමුණක් ඇති නිසාවෙන් කියලා හිතන්න පුළුවන්. එයාලව රවට්ටන්න උත්සහ කරනවා කියලා හිතන්න පුළුවන්. ඒ නිසා අනිත් අයට දුක හිතෙයි කියල ඕනවට වඩා හොඳ කරන්න යන්න එපා. ඔයාගේ හිතට අවංක අය එක්ක පමණක් ගනුදෙනු කරන්න හොඳින් මතක තබාගන්න.

5. අමනාපකම් ඇති වීම

සම්බන්ධතාවයකදී ඔයත් බලාපොරොත්තු වෙනවා ඇති ඔයාගෙ යාළුවා හෝ සහකරු ඔයා වගේම කැප කිරීම් කරයි කියලා. ඔයා හිතනව එයත් ඔයා වගේම පරාර්ථකාමී හා පරිත්‍යාගශීලී වෙයි කියා. කොටින්ම කිව්වොත් ඔයා මේ සම්බන්ධතාවය ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඒ හැම වෙලාවෙම අනිත් කෙනා ඔයා බලාපොරොත්තු වෙනවා තරම් කැප කිරීම් කරන්නේ නැති වෙන්න පුළුවන් මෙන්න මේ නිසා අපිට අමනාපකම් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා අනිත් කෙනා ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න යන්න එපා. ඒ වගේම සම්බන්ධතා ගැන වැඩිපුර හීන මවන්න යන්න එපා. හීනවල ජීවත් නොවී යථාර්ථයට මුහුණ දෙන්න මතක තියාගන්න.

6. නිතරම සමාව ඉල්ලීම

වැරැද්දකදී වරද පිළිගෙන සමාව ඉල්ලීමත් ඉතාම හොඳ දෙයක්. ඔයා වරදක් නොකළත් සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න ඔයා නිතරම සමාව ඉල්ලනවා වෙන්න පුළුවන්. ඔයාගේ පුංචි අතපසු වීමකදී පවා ඔයා අනිත් කෙනා ගෙන් සමාව ඉල්ලනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තමයි හැමදේම ඔයාගේ වරදක් නිසා සිදු නොවන බව. මෙහෙම අනවශ්‍ය විදිහට සමාව ඉල්ලන්න ගියොත් ඒ අයට ඔබේ වචනය වැඩක් නැති වේවි. ඒ නිසා හොඳින් මතක තියාගන්න ඔයාගේ වැරැද්දක් නම් විතරක් එයට සමාව ඉල්ලන්න.

7. දුර්වල සම්බන්ධතා

වැඩිපුර හොඳ අයට සම්බන්ධතා ඇති කර ගැනීමේදී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ගැටලුවට ප්‍රධානම හේතුව තමයි තමන්ගේ අදහස් කෙළින්ම අනිත් කෙනාට කියන්න දක්වන අකමැත්ත හෙවත් මැලිකම. හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න නම් ඔබේ අදහස් අනිත් කෙනා සමඟ විවෘතව බෙදා ගත යුතුමයි. අනිත් කෙනාගෙ හිත රිදෙයි කියලා ඇත්ත දේ සඟවන්න ගියොත් ඔබේ සම්බන්ධතාවය කෙටි කාලීන සම්බන්ධතාවයක් බවට පරිවර්තනය වේවි. හේතුව තමා බැඳීමක ශක්තිමත් බව තීරණය වන්නේ සඟවන්නේ නැතිව අවංකව අදහස්, සිතිවිලි හා හැඟීම් අනිත් කෙනා මත හුවමාරු කර ගැනීමෙන් පමණක් බවයි.

8. ඔබ ඔබවම නොසලකා හැරීම.

ගොඩක් හිත හොඳ කෙ‍ෙනක් සම්බන්ධතාවයකදී තමන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙන්නෙ නෑ. මොවුන් අවධානය දෙන්නෙ අනිත් කෙනා ගැන විතරමයි. බොහෝවිට තමන්ගේ සතුට අමතක කරලා අනිත් කෙනාගෙ සතුට පමණක් ගැන ඔවුන් හිතනවා. එහෙත් ඔබ හොඳින් මතක තියා ගත යුතු දෙයක් තමයි ඔබේ යාළුවා හෝ සහකරු ගැන හිතනවා වගේම ඔබේ සතුට ගැනත් හොඳින් සිතිය යුතු බව.

අන්තර්ජාලය ඇසුරෙන් – සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *