WhatsApp Image 2023 01 29 at 5.42.41 AM
|

“ඉතින් කොහොමද ජීවිතේ”/ BUDDHIKA PINNADUWA

  • මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය නළුවෙක් විදියට. ඒ මගේ ආදරණීය ගුරු පියාණන් වන ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්නයන්ගේ චරිත අටක් වේදිකා නාට්‍යයෙන්. විල්සන් ගුණරත්න ගුරු පියාණන්ගෙන් මම ප්‍ර්‍රධාන වශයෙන්ම රංගනය, තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය අවුරුදු 4 ක් පමණ හැදෑරුවා. ඒ තමයි මගේ මුල්ම ආරම්භය……BUDDHIKA PINNADUWA

62474869 2333843003539647 6201419243364286464 n

කලාව මිනිසුන්ගේ සුවපත් බව උදෙසාම බව ඔබ මෙන්ම මමද විශ්වාස කරන කරුණක්….සිය හැකියාවෙන් තමන් පමණක් නොව අංකුර නිර්මාණ ශිල්පීන ශිල්පිනියන් රාශියකට වේදිකාවක් තනා දුන්..තනා දෙන…ලොවෙන් එකෙක් එක් දෙයකට පමණක් සමත් යයි කියන වදන වෙනස් කල කලා කරුවෙක්…තාරුණ‍යයේ දක්ෂයෙක්…නිහතමානි සුන්දර මිනිසෙක්….හිතවතෙක්..ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකුද, තිර පිටපත් රචකයෙකුද, රංගන ශිල්පියෙකු සහ පින්න Production මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක බුද්ධික පින්නදූව මහතා………..
“ඉතින් කොහොමද ජීවිතේ” බුද්ධික පින්නදූව මහත්මයා…?

සාමාන්‍ය පරිදි සරලව ජීවත් වෙනවා. ටිකක් කාර්‍යබහුලයි.

📻 කලා ක්ෂේත්‍රයේ මොනවද අලුත්ම තොරතුරු ?

මේ දවස් වල නම් ටෙලි චිත්‍රපට තුනක අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කරනවා. තව ටෙලි නාට්‍යයක පිටපතක් ලියමින් ඉන්නවා. ඊට අමතරව සියහඬ ගුවන් විදුලියේ විකාශනය වන පින්න මතක අඩවිය ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ වැඩකටයුතු කරනවා. මියුසික් විඩියෝ දෙකක් රූපගත කලා. තව Y වර්ණ Digital Magazine එක “Heart එකේ Art එක” සමග වැඩ කරනවා. ඔය ටික තමයි.

📻 ඔබ රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක්, සහ තිරපිටපත් රචකයෙක්. කලා ක්ෂේත්‍රයේ ආරම්භය මතක් කලොත් ?

මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය නළුවෙක් විදියට. ඒ මගේ ආදරණීය ගුරු පියාණන් වන ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්නයන්ගේ චරිත අටක් වේදිකා නාට්‍යයෙන්. විල්සන් ගුණරත්න ගුරුපියාන්ගෙන් මම ප්‍ර්‍රධාන වශයෙන්ම රංගනය, තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය අවුරුදු 4 ක් පමණ හැදෑරුවා. ඒ තමයි මගේ මුල්ම ආරම්භය. අදටත් විල්සන් ගුණරත්න ගුරුපියානන් මාත් සමග මට ශක්තියක් වෙලා ළඟින්ම ඉදන් මට ආශිර්වාද කරනවා. ඉන් පසුව මට උපසේන සුභසිංහ පාල අයියා හරහා ආසියාවේ දීර්ඝතම ටෙලි වන “කෝපි කඩේ” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ප්‍රභාත් දුෂ්‍යන්ත අයියා හරහා මට කෝපි කඩේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ මීට අවුරුදු 7 කට විතර පෙර. ඒත් එක්කම මට එවකට, ටෙලි විශනයේ ජනප්‍රියම වැඩසටහනක් වුණ ලිලාන් රත්නායකයන්ගේ අධ්‍යක්ෂණය යටතේ විකාශනය වුණ එවකට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වැඩසටහන වූ “Red Mic” වැඩසටහනේ නොනවත්වා අවුරුදු 3 ක කාලයක් රංගනයෙන් දායකත්වය ලබා දෙන්න හැකි උනා. ඒත් එක්කම කියන්න ඕනේ ලිලාන් රත්නායක අයියා නිතරම මගේ පසුපස ඉදන් ලොකු ශක්තියක් වෙනවා මගේ සියලුම කලා කටයුතු වලට. ඔහු මගේ ජිවිතේට අවශ්‍යම අධ්‍යක්ෂකවරයෙක් වගේම කලා කරුවෙක්. Red Mic වැඩසටහනේ නිවේදක හා රංගන ශිල්පී හේෂාන් මල්ලිව මේ අවස්ථාවේ මතක් කරන්නම ඕනේ. ශේෂාන් තුළ තියෙන වටිනා අදහස් මගේ ගමන තවත් එළිය කරා. ඒවගේම චරිතාංග රංගන ශිල්පි තිළිණ හෙට්ටිආරච්චි ආදරණිය කලාකරුවාද හමුවන්නේ Red Mic වැඩසටහනේ Shooting අතරතුර. ඒ ගැනත් මතක් කරන්නම ඕනේ. ඔහුත් දක්ෂතම චරිතාංග රංගන ශිල්පියෙක්. ඒ කාලයේම ITN නාලිකාවේ විකාශනය වූ විල්සන් ගුණරත්නයන් ත්‍රිත්ව රංගනයෙන් දායක වූ Wily King Show වැඩසටහනේ සහය අධ්‍යක්ෂක වරයාලෙස වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒත් සමගම ටෙලි නාට්‍ය සහ කෙටි චිත්‍රපට, ටෙලි චිත්‍රපට, විත්‍රපට සහ මියුසික් විඩියෝ යන නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබුණා. දැනටත් ඒ හැමදේම ලැබෙමින් පවතිනවා.

📻 .පාසල් කාලයේ ගැන මතක කලොත් ?

මගේ පාසල කැළණිය ධර්මාලෝක විද්‍යාලය. මගේ පාසලට මම ආදරෙයි. මම ගොඩක් දුරට පංතියේ ඉන්නෙම නැති කෙනෙක්. හැබැයි 80 % වේ පැමිණීමට 100 % ක්ම මට තියෙනවා. ප්‍රින්සිපල්ටත් කලින් මම ඉස්කෝලෙට එනවා. මම උසස්පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. ඒත් මම කලා ක්ෂේත්‍රයට තිබුණ කැමැත්ත නිසාම පාසල් කාලයෙත් නාට්‍ය දෙකකට සම්බන්ධ උනා. එක නාට්‍යයක මම ගැහැණු චරිතයකින් රංගනයෙන් දායක උනේ. ඒ නාට්‍යයෙන් පසුව පාසලේ ප්‍රසිද්ධියක් ලැබුණා. බෞද්ධ සංගමයේ සභාපති, නිවාස ක්‍රිඩා නායක, නිවාස නායක, යන තනතුරු දරන්නටත් හැකියාව ලැබුණා. මම සෑම ක්‍රිඩාවක්ම පාසල තුළ ප්‍රගුණ කලා. මගේ ප්‍රධානම ක්‍රිඩාව පාපන්දු ක්‍රිඩාවයි. හරිම සුන්දරයි පාසල් කාලේ.

📻 කලා ක්ෂේත්‍රයේ එන්න මුල්ම අඩිතාලම ලැබුණේ කොහොමද ?

මගේ කලා ක්ෂේත්‍රයේ මුල්ම ගුරුවරයා ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්න මහතා. එතුමා යටතේ අවුරුදු 4 ක් රංගනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදන කළමාණාකරනය, කලා අධ්‍යක්ෂණය සහ තිරපිටපත් රචනය හදාරන්නට හැකියාව ලැබුණා. එතුමා කලා ක්ෂේත්‍රයට වගේම, මගේ පෞද්ගලික ජිවීතේදී පවා අවශ්‍යම තැන් වල පවුලේම කෙනෙකු මෙන් මට අවවාද ලබා දෙන ගමන් කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට උදව් කලා. ඉන් පසුව මට හමුවෙන්නේ සිරස TV නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදක සහ අධ්‍යක්ෂක ලිලාන් රත්නායක අයියා, ලිලාන් අයියාගෙනුත් උපරිම සහයෝගයක් ලැබුණා ක්ෂේත්‍රයේ ඉස්සරහට එන්න. හැදෙන්න ඕන දේවල් එවෙලෙම හදපු අපුරු චරිතයක් ලිලාන් අයියා කියන්නේ. අදටත් අවවාද උපදෙස් උපරිමයෙන්ම දෙනවා. ලිලාන් අයියාගෙන් ලැබුණු ගුරුහරුකම් ඉතාම ප්‍රභලයි. සිරස TV නාලිකාවේ තැනක් මට හදලා දුන්නේ ලිලාන් රත්නායක අයියා. මේ කෙනා ගැනත් කියන්නම ඕනේ. ප්‍රවීණ නිවේදක සහ රංගන ශිල්පී දයානන්ද හේවගේ අයියාගෙනුත් උපරිම අවවාද ගුරුහරුකම් ලැබුණා කලා ක්ෂේත්‍රයට වගේම පෞද්ගලික ජිවිතේටත්. ඔහුගේ සියලුම දැනුම මා හට ලබා දුන්නා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ප්‍රභාත් දුෂ්‍යන්ත අයියත් මට උපරිම වටිනාකමක් කලා ක්ෂේත්‍රය තුළ හදලා දුන්නා. මම ඔහුවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඔහු හරහා තමයි ITN නාලිකාවේ නිර්මාණ වලට සම්බන්ධ උනේ. මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා ගීත ගායනා කරලා නොතිබුණ මට ඒ අවස්ථාව හදලා දුන්නේ ප්‍රවිණ බහු ශෛලික ගායන ශිල්පිනි දිමිත්‍රා රත්නායකයන්. එතුමිය එක්ක තමයි මම පළවෙනි වතාවට වේදීකාවක යුග ගීතයක් ගායනා කලේ. ඒ නොච්ච්යාගම Don Bosco ආයතනයේදී. ඒ මීට අවුරුදු 5 කට කලින්. මට හම්බෙන ප්‍රවීණ හෝ නවක ඕනම කෙනෙකුගෙන් මම මොනවාහරි දෙයක් ඉගෙන ගන්නවා.

📻 . අපි කැමතියි දැන ගන්න ඔබේ පින්න Production මාධ්‍ය ජාලය ගැන. ඔබේ මාධ්‍ය ජාලයෙන් සිදුවන කලා කටයුතු මොනවද ?

රංගනය, තිර පිටපත් රචනය, ටෙලි නාට්‍ය, චිත්‍රපට, මියුසික් විඩියෝ, නිවේදනය, හඬකැවීම, ගුවන් විදුලි ඒකාංගීක නාට්‍ය, Wedding Planing, Wedding Photograph & Vediograph, Photo Shots, සහ විවිධ Event වගේ සියලුම කලා කටයුතු.

325409831 467388005586840 786846652025828065 n 1

📻. ඔබ මේ වෙනකොට කොපමණ නිර්මාණ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවද ?

රංගනයෙන් නම් චරිත අටක් වේදිකා නාට්‍යය. ටෙලි නාට්‍ය 15 ක් පමණ, චිත්‍රපට 5 වගේ ඇති, ටෙලි චිත්‍රපට 08 ක්, මියුසික් විඩියෝ නම් 20 ක් වගේ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. අධ්‍යක්ෂණයෙන් නම් ටෙලි චිත්‍රපට 15 ක්, කෙටි චිත්‍රපට 20 ක් වගේ, චිත්‍රපට 2 ක් සහ මියුසික් විඩියෝ නම් 30 කට ආසන්නයි.

📻. ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට ඇගයීමක් තියෙනවද ?

ඇගයීමක් තියෙනවා. හැබැයි ඒත් සමහර වෙලාවට ඇගයීම් හම්බවෙන්න ඕනේ ප්‍රවීණයින් මගහැරෙනවා. මොකද අපේ රටේ සමහර රංගන ශිල්පීන් සහ රංගන ශිල්පීනියන් ඉන්නවා වෙනත් රටවල් වලටත් වඩා දක්ෂ චරිතාංග කලාකරුවන්. අනික තව දෙයක් තිරයෙන් පිටුපස ඉන්න අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, අංග රචන ශිල්පියා, කැමරාකරණය, තිර පිටපත් රචනය, ශබ්ද පරිපාලක, සංස්කරණය වැනි ශිල්පින් සහ ශිල්පිනියන්ටත් වටිනාකමක් ලැබිය යුතුයි. ඔවුන්ව අමතක කරන්න හොද නැහැ. ප්‍රථම අදියරේ සිට විකාශනය දක්වාම දැවැන්ත කාර්‍යභාරයක් ඔවුන් ඉටු කරනවා. මොනදේ නොලැබුණත් ජනතා සම්මානය බොහෝ කලාකරුවන්ට ලැබෙනවා.

📻. රූපය කියන දේ බලපානවද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනකොට ?

ඒක මෙහෙමයි. එක එක අය බලන කෝණ වෙනයි. සමහර අයටනම් අනිවාර්යයෙන් රූපය කියන දේ ඕනේ. ඒත් සමහර අයට රූපය අදාලම නැහැ. දක්ෂතාව තමයි වැදගත්. මගේ නම් මතය කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ දක්ෂතාවය නැතිනම්, පවුඩර් බබාලා වගේ ඉදලා වැඩක් නැහැ රංගනය තාත්වික නැතිනම්. සික්ස් පැක් වගේ ඇගපත තිබුණට වැඩක් නැහැ රංගනය බැරිනම්. අනිවාර්යයෙන්ම යම් දක්ෂ ගුරුවරයෙක් යටතේ හදෑරිය යුතුමයි. මොකද කොච්චර ඉගෙන ගත්තත් ඉගෙන ගෙන ඉවර කරන්නම බැරි දෙයක් කලා ක්ෂේත්‍රය කියන්නේ. දවසින් දවස Update වෙනවා. මගේ අදහස තමයි රූපය Make-up කරලා ලස්සන කරන්න පුළුවන් උනාට, හැකියාව Make-up කරන්න බැහැ. රූපය නෙමෙයි වැදගත් හැකියාව පමණයි.

WhatsApp Image 2023 01 29 at 5.43.08 AM

📻. පසුගිය වසරේ අපි දැක්කා ජාත්‍යන්තර නිර්මාණයක්. සම්මාන උළෙලක් සංවිධානය කරන්න ඇයි හිතුනේ ? පිනිරු සාහිත්‍ය සම්මාන උළෙල කොහොමද ආරම්භ වෙන්නේ ?

පින්න Production මාධ්‍ය ජාලය සහ SL RR Production මාධ්‍ය ජාලයන් විසින් නිෂ්පාදනය කරන සම්මාන උළෙලක් තමයි “පිනිරු” සාහිත්‍ය සම්මාන උළෙල කියලා කියන්නේ. පිනිරු කියන්නේ මාධ්‍ය ජාලා ද්විත්වයක එකතුවක්. ඒ සදහා බුද්ධික පින්නදුව වන මමද, සම්මානලාභී ගී පද රචක රුවන් රත්නායකද, ST Streaming ආයතනයේ අධ්‍යක්ෂක MTJ චේතකද, ගේය පද රචිකා සංජිමා සුදේශ්ණි රාජපක්ෂද, ප්‍රධානත්වයෙන් තමයි එය සංවිධානය වෙන්නේ. කලා කෙත පෝෂණය කරන්නට වෙර දරන ශ්‍රී ලංකාව වගේම, විදෙස් රටවල් වල ඉන්න කලාරුවන් සහ කලාකරියන්ට ඔවුන්ගේ දක්ෂතා වලට නිසි ඇගයීම ගරු විනිශ්චය මණ්ඩලයකින් තෝරාගෙන සම්මාන, සමරු පලක, සහතික පත්‍රය ලබා දී වටිනාකමක් ලබා දෙනවා. විශේෂයෙන්ම නිරන්තරයෙන්ම කාගෙත් ඇස නොගැටෙන පිරිස් වලට තමයි ඒ අවස්ථාව උදා වෙන්නේ.

📻 පින්න Production මාධ්‍ය ජාලයේ ආරම්භය ගැන මතක් කළොත් ?

මම කලා ක්ෂේත්‍රය තුළ ප්‍රගුණ කරපු දේවල් වපුරන්න මට වුවමනා වුණා. ශ්‍රී ලංකාවේ කලාකෙත පෝෂණය කරන්නට වගේම ක්ෂේත්‍රයට ආදරේ කරන කලා ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ඒ අයගේ ඉදිරි ගමනට යම් වටිනාකමක් එකතු කර සාර්ථක දක්ෂ කලා ශිල්පින් සහ කලා ශිල්පිනියන් බිහි කිරීම තමයි මගේ අරමුණ වුණේ. දැනට අවුරුදු 6 කට පෙර ආරම්භය ගත් පින්න Production ආයතනයේ ආරම්භක අදියරේ හිටියේ තුෂාර චන්දන, රුවන් S ජයවීර, තිලිණ හෙට්ටිආරච්චි, MTJ චේතක, වසන්ත සිරිවර්ධන, සුමීර පින්නදුව, නිර්මාල් බංඩාර වන අතර, ඉන් පසුව ශ්‍රිමීලා මාකවිට, දෙව්දුණී අමරසිංහ, තිමාෂා ප්‍රමිදි, රවීනා ලියනගේ, සශිකා දුල්මි, තිලිණි දිසානායක යන තිර පිටපත් රචිකාවියන් එකතු උනා. ඉන් පසුව මෑතකදී, ඒ කියන්නේ අවුරුදු දෙකකට පෙර තවත් අති දක්ෂ රංගන, හඩකැවිම් සහ තිර පිටපත් රචනය කරන ශිල්පීන්සහ ශිල්පිනියන් රැසක් අප සමග අත්වැල් බැද ගත්තා. ඒ හැමෝගේම සහයෝගය කැපකිරීම් මත තමයි මෙවැනි ගමනක් එන්න පින්න Production අපිට ලැබුණේ. ඒ වගේම අංගරචන ශිල්පී ඩිලාන් මධුසංඛ(DMG), අංග රචන ශිල්පී දිලරුක් විජේසේකර සහ කැමරාකරණ ශිල්පී රන්දික සහෝදයන් තිදෙනවාත් ආදරෙන් මතක් කරනවා. පින්න Production මුල් කාලයේ නිසදැස් වදන් වැනි දේ වලින් ආරම්භය ගත්තත්, පසුව රංගන කටයුතු, නාට්‍ය, චිත්‍රපට, ටෙලි චිත්‍රපට, මියුසික් විඩියෝ, තිර පිටපත් රචනය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතා පොත්, Digital Magazine වැනි කලා කටයුතු රාශියක් මේ වෙන කොට නිර්මාණය කරන්නට හැකියාව ලැබුණා. එතනින් පසුව තමයි පින්න Production මාධ්‍ය ජාලයක් බවත් පත් වෙන්නේ. මේ දේ කියන්නම ඕනේ. මේ හැමදේම සාර්ථක කරගන්න හම්බුනේ අපේ පින්න Production මාධ්‍ය ජාලයේ සියලුම කලා ශිල්පීන් සහ කලා ශිල්පිනියන්ගේ වටිනා කැපකිරීම් නිසා. ඔවුන්ට මම ගෞරවයෙන් මතක් කරනවා.

📻 ඉදිරි වැඩ කටයුතු මොනවද ?

මුලින්ම කිව්වා වගේ දැනට කරගෙන යන නිර්මාණ ටික කරගෙන යනවා. අධ්‍යක්ෂණය කරන නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. මියුසික් විඩියෝ හතරක් වගේ එන්න තියෙනවා. ටෙලි නාට්‍යක තිර පිටපතක් ලියමින් ඉන්නවා. පින්න Production මාධ්‍ය ජාලයේ නිර්මාණ වගයක් එන්න තියෙනවා. ඊට අමතරව මීළඟ පිනිරු සාහිත්‍ය සම්මාන උළෙල සංවිධාන කටයුතු සාකච්ඡා මට්ටමින් කරගෙන යනවා. සම්මානලාභී ගී පද රචක රුවන් රත්නායක, ST Streaming සහ පින්න Production මාධ්‍ය ජාලයේ සමාජ ජාලා තාක්ෂණික අධ්‍යක්ෂක MTJ චේතක, ගේය පද රචිකා සම්මානලාභී සංජීමා සුදේශ්ණි රාජපක්ෂ යන අය සමග. ඉදිරියේදී පින්න Production මාධ්‍ය ජාලයේ අලුත්ම වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

📻. ජයහඬ ගැන මොකද හිතෙන්නේ ?

ඉතාම සතුටුයි. සාමාන්‍යයෙන් තිරයෙන් පිටුපස ඉන්න පිරිසට වටිනාකමක් ලැබෙනවා අඩුයි. ඉතිං මාව මේ වැඩසටහනට තෝර ගත්ත එකට ජයහඬට සහ බංඩාර රාජපක්ෂ මහතාටද හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේම වචනයෙන් කියනවානම් මගේ හදවතේ ගැඹුරුම තැනින් ඔයාලා හැමෝටම සුබ පතනවා ඉදිරියට යන්න ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබෙන්න කියලා.

බුද්ධික මහත්මයා…තරුණ ඔබගේ සියලු උත්සාහයන් කලාව වෙනුවෙන් එහි උන්නතිය පෝෂණය වෙනුවෙන්..තිරය පිටුපස ඔබ කරන විසල් මෙහෙවර අපි ඉතාම ගෞරවයෙන් අගය කරනවා….අනාගතයේ ඔබේ සියලු අභිමතාර්ථ ඉෂ්ධ සිද්ධ කරගන්නට හැකියාව ලැබේවා කියල ජයහඬ වෙනුවෙන් මමත් සුබාශිංසන එකතු කරනවා…බොහොම ස්තුතියි..

Bandara rajapakasha
සටහන :
බංඩාර රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *