41 0

3D සංකල්පය සහිත ඇනිමේෂන් චිත්‍රපටයක් ආ රිදී තිරයට එන ගජමෑන්

කාලයත් සමඟ අපගේ රුචිකත්වයන් නව්‍ය වුවත් අතීතයේ විඳි රසයන් ඊයම් බරු මෙන් සිත්හි කොනක හෝ තැන්පත් වී තිබෙන්නේ පුදුමාකාර වෛවාරණ චිත්‍රකතාත් එකී කුලකයට අයිති වූවක්. මනසින් පණ දුන් ඒ චිත්‍රකතාවලට ජීවමය බවක් එක් වී චිත්‍රපටියක් ලෙසින් තිරගත වීම අතීතය හා වර්තමානය එක්කර බැඳි පාලමකට සමානයි. චිත්‍රකතා දෑසින් නොදුටු අලුත් පරම්පරාව වගේම චිත්‍ර කථා රසය අක්මුල්වලින් උරාගත් පරණ පරම්පරාවටත් එකම රසයක් විඳිය හැකි ගජමැන් චිත්‍රපටිය ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ අලුත් පිටුවක් පෙරළන්නක්. මේ කතාබහ ගාමින්ද ප්‍රියවිරාජ් සමඟයි.

ගජමෑන් සමඟ ගෙවන ජීවිතය කොහොමද ?

බොහොම සතුටුයි. අතිසාර්ථක ලෙස එය ප්‍රදර්ශනය වෙනවා. එය මෙරට සිනමාවේ ඓතිහාසික සිදුවීමක්. එයට සම්බන්ධ වීමට ලැබීම ලොකු භාග්‍යයක් ලෙස මං දකිනවා.

42 21ලංකාවේ ප්‍රථමවරටයි 3D සංකල්පය සහිත ඇනිමේෂන් චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ. එකී වෙනස වටා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් එක්රොක් වේ යැයි ඔබ විශ්වාස කරනවද?

දැනටමත් හොඳ ප්‍රතිචාර තිබෙනවා. ප්‍රේක්ෂකයන් සමඟ අපත් චිත්‍රපටය නැරඹුවා. මිනිසුන් සතුටින් හිනාවෙනවා, අත්පුඩි ගහනවා සජීවීව අප අත් වින්දා. ඔවුන් අතිශය තෘප්තිමත් මට්ටමක සිටීම අපගේ සතුටට කරුණක්.

නව අධ්‍යක්ෂකවරයෙකු සමඟ වැඩ කටයුතු කිරීමේ දී නිර්මාණ කාර්යය සාර්ථක කරගන්න පුළුවන් වේ යැයි චකිතයක් ඔබට දැනුනේ නැද්ද?

ගජමෑන් චිත්‍රපටයේ පිටපත ලිව්වේ අවුරුදු දහයකට කලින්. පසුව නූතන කාලයට ගැළපෙන ලෙස යම් යම් වෙනස් කිරීම් අප සිදු කළා. ගජමෑන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ශානක පෙරේරා යි. ඔහු දිනක් අපව හමු වන්නට ඇවිත් කැමිලස් මහත්තයාගේ චරිත අපට ලැබෙනවා. ඊට පිටපතක් ලියා දෙන මෙන් ඉල්ලුවා. අවුරුදු දහයකට කලින් වර්තමානය තරම් වත් තාක්ෂණය දියුණු මට්ටමක නොතිබුණ නිසා 3D ඇනිමේෂන් චිත්‍රපටියක් කරන්න පුළුවන්ද කියන චකිතය අපිට දැනුණා. නමුත් ඔවුන් මෙම කාර්යය ඉදිරියට කළොත් එය හොඳ මට්ටමක තිබිය යුතු නිසා අප මහන්සි වෙලා පිටපතක් ලියලා දුන්නා. කාලයක් ගතවීමෙන් පසුව මූලික කොටස් කිහිපයක් අපට පෙන්නුවා. ඉන්පසුව දෙබස් යම් ප්‍රමාණයක් වෙනස් කර නැවත පිටපත කාලයට අනුරූපව සකස් කළා. මුලින් අපට හඬ කැවීමට අදහසක් නොතිබුණත් පසුව නිර්මාණය උසස් මට්ටමකින් තිබුණ නිසා හඬ කැවීමටත් ඔවුන් යෝජනා කළා වගේම අප ඉදිරිපත් වුණා.

කතාංග නිර්මාණය කිරීමේ දී අධ්‍යක්ෂවරයා පූර්ණ නිදහස ලබා දුන්නද?

කතා සැකිල්ල අයිති කැමිලස් මහත්තයටයි. දැක්කොත් පද්මාවතී, ස්වීටි, ටික්කා, සෙල්ලන් සේන, මගෝඩිස්තුමා යන චරිත පැවතුණේ තනි තනිවයි. එකී චරිත අතර කිසිදු නෑදෑකමක් පැවතුණේ නැහැ. නමුත් මෙම කතාංගය තුළ මගෝඩිස්තුමාගේ දුව දැක්කොත් පත්මාවතී ලෙස යම් යම් වෙනස් කිරීම්වලට කැමිලස් මහත්තයා භාජනය කළා. එකී වෙනස්කම්වලට අනුරූපව අදාළ සිද්ධි ලිව්වෙ අපියි. පිටපත වගේම දෙබස් රචනා කිරීමේදී කැමිලස් පෙරේරා මහත්මයා වගේම එහි අධ්‍යක්ෂක වන චානක පෙරේරා කිසිවිටෙක ඇඟිලි ගැසීම් කළේ නැහැ. එකී නිදහස් අපට ලබා දීම ගැන කැමිලස් පෙරේරා මහත්මයාට මගේ ස්තුතිය පිරිනමනවා.

චිත්‍රකතා කලාවේ දැවැන්තයෙක් වූ කැමිලස් පෙරේරාගේ නිර්මාණයක් වෙනස්කම් වලට භාජනය කරමින්, අලුත් දෙබස් එක් කරමින් නව නිර්මාණයක් කරද්දි මොනවගේ හැඟිමක්ද ඇති වුණේ?

පත්තරේක චිත්‍ර චිත්‍රකතාවකයි 3D ඇනිමේෂන් චිත්‍රපටියකයි පුළුල් වෙනසක් පවතිනවා. චිත්‍ර කතාවේ පෙන්වන දැක්කොත් පද්මාවතී හා චිත්‍රපටියේ ඇයගේ ස්වරූපය හාත්පසින්ම වෙනස්. එවැනි යම් යම් වෙනස්කම් තිබුණත් විචාරයන් ගැන අප කල්පනා කළේ නැහැ. අපට අවශ්‍ය වුණේ මිනිස්සුන්ට රසවිදිය හැකි හොඳ නිර්මාණයක් තිළිණ කිරීම පමණයි.

හරසුන් වචන, නොසරුප් වචන තුළින් ප්‍රහසනය ගොඩනඟන සමාජ වටපිටාවක් තුළ උසස් ගණයේ ප්‍රහසන නිර්මාණයක් වටා ප්‍රේක්ෂක රසඥතාවය ගොඩ නැඟේවි යැයි ඔබ විශ්වාස කරනවද?

ඕනෑම යුගයක හොඳ නිර්මාණ හා නරක නිර්මාණ පවතිනවා. ඕනෑම යුගයක පුහු නිර්මාණ පැවතුනත් හොඳ නිර්මාණ වැලඳගන්නා ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. ටිකක් වයසට යනකොට දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ කියලා බොහෝ දෙනා කිව්වත් මම ඒ කතාව කියන්න කැමති නැහැ. අප කරන නිර්මාණවලට ගොඩනැඟුණු ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. මෙම නිර්මාණය වයස් භේදයකින් තොරව සියලු දෙනාම ආසාවෙන් රස විඳීම අප ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ.

3D සංකල්පය ලංකාවට ඖචිත්‍යද?

ඔව් ගැළපෙනවා. නමුත් ගැටලුව අපට 3D සිනමා ශාලාවක් නොමැතිවීමයි. කොළඹ අවට පවතින සිනමා ශාලා කිහිපයක් හැරුණු කොට ඒ පහසුකම අනෙක් ප්‍රදේශවලට නැහැ. ඒ නිසා එවැනි නිර්මාණයක් කොපමණ ප්‍රේක්ෂක පිරිසකට ප්‍රදර්ශනය කිරීමට හැකිවේද කියන ගැටලුව එවිට පැන නඟිනවා නමුත් ඉදිරියේදී එය දියුණු වේ යැයි අප බලාපොරොත්තු වෙනවා.

මෙය සුනිල් පෙරේරා හඬකැවු අවසන් චිත්‍රපටය නේද?

ඔව් එය ඔහුගේ අවසන් චිත්‍රපටය වගේම අවසන් කලා කටයුත්තයි. ඔහුගේ අලුත් නිර්මාණ ඉන්පසුව බිහි වුණේ නැහැ. ඔහු එය නැරඹීමට නොමැතිවීම කනගාටුවට කරුණක්. ඔහුගෙන් ඉතාම හොඳ සහයෝගයක් අපට ලැබුණා. ඒ වගේම ආරාධනාව පිළිගෙන, සතුටින් තරුණ පිරිස් සමඟ උරෙනුර ගැටී වැඩ කටයුතු කළා.

පොඩි මල්ලි චූටි මල්ලි යූ ටියුබ් චැනල් එක මේ දිනවල සක්‍රීය තත්ත්වයේ නැහැ නේද?

ඔව්. අපගේ කාර්ය හා කාර්ය බහුල තත්ත්වය මත එය තරමක් මඟ හැරුණා. නමුත් ඒ ඉදිරියේ දී සක්‍රියව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. එහි නම චූටි මල්ලි පොඩි මල්ලි CM PM ලෙස අප වෙනස් කළා. ඉදිරියේදී සතියකට වරක් හෝ සති 2කට වරක් අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද

ළඟම බලාපොරොත්තුව අපගේ අලුත්ම චිත්‍රපටය නිම කිරීමයි. එහි රූගත කිරීම් මේ වන විට 95% ක් පමණ නිම කර අවසානයි. මේ වසරේ අවසානයේදි හෝ ලබන වසරේදී එය තිරගත වීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *