පංචකර්ම ප්‍රතිකාරයෙන් රෝ බිය දුරලන වෙද මාතාව
පොතු කබර රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සාර්ථකව සුවපත් කළ හැකි අතර, රෝගයට හේතු වූ කරුණුවලින් වැළකීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය
අංශභාග රෝගීන් සඳහා සිදු කරන පංචකර්ම ප්‍රතිකාර නින්ද නොයෑම, හෝමෝන අසමතුලිතතාව, ස්නායු පද්ධතියේ ආබාධ, ආතතිය හා කාංසාව වැනි මානසික හා චිත්තවේගී රෝගීන්ටත් ඉතා සුදුසුයි
නියපොතු දිරා යෑමත් නිට්ටාවටම සුවපත් කළ හැකියි
සමේ ඇති වන ආසාදිත තත්ත්වයන් නිසා කෙනකු විරූපී තත්ත්වයට පත්වන්න පුළුවන්. මේ නිසා බොහෝ දෙනා මානසිකව ඇද වැටෙන අවස්ථා බොහෝය
වැටීමකින්, බර ඉසිලීමකින් හෝ අංශභාගය නිසා හෝ අස්ථීවල පවතින දුර්වලතා වගේම ඇතැම් අවස්ථාවලපෝෂණ දුර්වලතා නිසා ද ඇතිවන රෝග තත්ත්වයන් නිවැරදිව හඳුනා ගෙන ප්‍රතිකාර ලබා දෙනවා
අපේ සිරුරේ ප්‍රධාන කාර්යභාරයන් විශාල ප්‍රමාණය ඉටු කරන සිරුරේ විශාලතම ඉන්ද්‍රිය වන්නේ සම වන අතර, සමේ ඇති වන විවිධ ආසාදන නිසා ශාරීරිකව පමණක් නොව මානසිකව ද බොහෝ දෙනා පීඩා විඳිති. එමෙන්ම ඉන් ජීවිතයේ නීරෝගී භාවයට එල්ල කරන්නේ දැඩි බලපෑමකි. එනිසා මෙවර අප ඉසිවර අරණ තුළින් ඔබට සමීප කරන්නේ චර්ම රෝග, ස්නායු රෝග හා අංශභාග රෝගය පිළිබඳ ෙජ්‍යා්ෂ්ඨ
ආයුර්වේද වෛද්‍යවරියකි. ඇය නමින් ප්‍රියන්තා ජයකොඩි ය. අප ඇය සොයා
මාකන්දන මඩපාත පිහිටි ආරෝග්‍ය ශාලාව වෙත පිවිසුණෙමු.
ආයුර්වේද වෛද්‍ය ප්‍රියන්තා ජයකොඩි 1964 සැප්තැම්බර් මස 15 වැනිදා කහතුඩුව වෑතර ග්‍රාමයේදී ඇල්බට් ජයකොඩි හා සෝමාවතී හෙට්ටිආරච්චි යන දෙපලට දාව පවුලේ දෙවැනි දරුවා ලෙස උපන්නාය. ඇයට වැඩිමහල් සහෝදරියක සහ බාල සහෝදරියන් තිදෙනකු විය. කහතුඩුව කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය, වෑතර මහා විද්‍යාලයට ඇතුළත්ව අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ද්විතීක අධ්‍යාපනයට යොමු වූවාය. 1979දී අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් වූවාය. 1982දී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි ප්‍රියන්තා, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයට ඇතුළත්ව 1986දී දේශීය ආයුර්වේද වෛද්‍ය උපාධියට හිමිකම් කීවාය.
“මම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට යොමු වෙන්න කල්පනා කළේ මගේ පරම්පරාවේ කිසිවෙක් හෝ ඥාතියකු හෝ වෛද්‍යවරුන් නිසා නෙමෙයි. මං උසස් පෙළ කරලා ඉන්න කාලේ ගෙදර තිබුණු පත්තරේක දේශීය ආයුර්වේදය පිළිබඳ දැන්වීමක් පළ වී තිබුණා. ඒ දැන්වීම දැක්කට පස්සේ ආයුර්වේද අධ්‍යාපනය සඳහා යොමු වෙන්න ඕන කියලා මට හිතුණා. ඒ වෙද්දී මට ආයුර්වේදය වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ලොකු දැනුමක් තිබුණෙ නැහැ. නමුත් දේශීය ආයුර්වේද වෛද්‍ය පීඨයට ඇතුළත් වෙලා ඉගෙන ගද්දී ලොකු ආශාවක් ඇති වුණා. ”
1996 පෙබරවාරි මස 22 වැනිදා ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පත්වීම් ලබන වෛද්‍ය ප්‍රියන්තා ජයකොඩි, අනුරාධපුර ආයුර්වේද රෝහලේ සර්වාංග රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනියක ලෙස කටයුතු ආරම්භ කළාය. එතැන් සිට වසර 26ක කාලයක් ආයුර්වේද වෛද්‍යවරියක ලෙස විවිධ තනතුරු හොබවන ඇය මේ වනවිට කැස්බෑව ආයුර්වේද රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කරයි. අපි ඇයගෙන් සමේ ඇති විශේෂත්වය හා චර්ම රෝග පිළිබඳ විමසීමක් කළෙමු.
“සම මඟින් ඉටු කරන ප්‍රධාන කාර්යය තමයි, සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්ෂා කිරීම, සිරුරේ උණුසුම නියත මට්ටමට පවත්වා ගෙන යෑම, අපිරිසුදු දෑ බහිස්ස්‍රාවීය ක්‍රියාවලිය මඟින් බැහැර කිරීම හා සිරුරේ නියමිත හැඩය නිසියාකාරව පවත්වාගෙන යෑම ආදිය. සමේ ඇති වන ආසාදිත තත්ත්වයන් නිසා කෙනකු විරූපී තත්ත්වයට පත්වන්න පුළුවන්. මේ නිසා බොහෝ දෙනා මානසිකව ඇද වැටෙන අවස්ථා බොහෝමයි. නමුත් මෙම ආසාදිත තත්ත්වයන්ට නිසියාකාරව නිවැරදිව ප්‍රතිකාර නොකළොත් එය වඩා බරපතළ තත්ත්වයකට පත්විය හැකියි.”
සමේ රෝග ඇති වීමට බලපාන විවිධාකාර හේතූ අතර විශේෂයෙන්ම අපිරිසිදුකම, විවිධ චර්යාවන් සහ පුරුදු වේ. මෙම රෝග ශරීරයට බාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවී ආසාදන, ස්පර්ශය, ලිංගික ක්‍රියා හා අපිරිසුදුකම වැනි හේතුන් නිසා වගේම රක්තවාතය හෙවත් ලේ ධාතුව කෝප වීම නිසා ඇති විය හැකිය. රක්තය දූෂණය වීමට විවිධ හේතු බලපාන අතර, විවිධ ආහාර රටාවන්, ආහාර පුරුදු, ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඇතිවන විෂමතා, එක් එක් පුද්ගලයාගේ ශරීර ප්‍රකෘතිය එනම් වාත, පිත, සෙම යන ප්‍රකෘතීන්ගේ ස්වභාවය ඊට හේතු වේ. පිත වැඩි වූ විට රක්තය දූෂණය වේ. එසේම මානසික හේතුන් නිසා ද මෙවැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකිය.
උෂ්ණ අධික ආහාරපාන ගැනීම ද රක්තය දූෂණය වීමට බහුල හේතුවකි. එසේම රාත්‍රියේ නිදිවැරීම, දහවල නිදා ගැනීම, තද අව්වේ ගමන් බිමන් යෑම, ආහාර වැඩිපුර ගැනීම, ප්‍රතිවිරුද්ධ ආහාර ගැනීම (තුන්දොස් කිපෙන ලෙස) ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම වැනි හේතූන් ද රක්ත දූෂණයට හේතු වේ. එසේම ශරීරයේ වා පිත් කප යන ත්‍රිදෝෂ අතුරින් පිත් දෝෂය බහුල වූ උෂ්ණාධික ශරීරයක් ඇති අයගේ සමෙහි පැසවීම් අධික වන අතර, ඊට වා සෙම් දෝෂවල දායකත්වයෙන් සමේ වියළීම්, ඉරිතැලීම් හෝ කැසීම් ආදී ලක්ෂණ මතුවිය හැකිය. එසේම ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජීර්ණයේ පවතින දුර්වලතා නිසා ඔවුන් ලබා ගන්නා ආහාර ශරීරයට අවශෝෂණ කළ හැකි අවසාන ඵලය දක්වාම භේදනය නොවී සිරුරට අවශෝෂණය වී රක්තයට එකතු වීම නිරන්තරව සිදුවීම නිසා ද රක්ත දූෂණය සිදු වේ. එසේම වෛරය, ක්‍රෝධය ආදී වූ සිතුවිලි වගේම, කණස්සල්ල, නිතර කේන්ති ගැනීම, කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික ආතතිය නිසා ද රක්ත දූෂණය වේ.
මේ නිසා වාත රක්තය නිසා හටගන්නා රෝග මෙන්ම සමේ පළු දැමීම, දද කුෂ්ඨ, අළුහම්, ඉන්නන්, පොතු කබර, සුදු කබර (ශ්විත්‍ර), අකාලපලිත (අකලට හිසකෙස් වැටීම සහ පැසීම), ඉස්හොරි, උඳුගොව්වන් කෑම සහ සමේ ඇති වන විවිධ දිලීර ආසාදන ඇතිවේ. මේ සෑම රෝගී තත්ත්වයක්ම ඉතා විශිෂ්ට ලෙස සුවපත් කිරීමට ඇය සමත්ය.
සමේ පළු දැමීම විවිධ දෑ ස්පර්ශ වීම (ශාක, දළඹුවන් වැනි), කෘමි සතුන් දෂ්ටනය (මදුරුවන්, මකුණන් වැනි) හේතූන් මූලික කරගෙන ආරම්භ වී දරුණු පීඩාකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. ඇතැම් අයට සම තදින් ස්පර්ශ කිරීම නිසා හෝ කැසීම හෝ සවස් කාලයේ දිය නෑම, ඇඟ සේදීම වැනි අවස්ථාවල පළු දැමීම් ඇති විය හැකිය. ඇතැම් විට බටහිර ඖෂධ නිසා ද මෙවැනි ආසාදන තත්ත්වයන් ඇති වේ. බොහෝදුරට මේ තත්ත්වය කාන්තාවන් අතර සුලබව දැකගත හැකිය. වාත රක්තය නිසා හටගන්නා රෝගී තත්ත්වයන්ගේ මූලික ලක්ෂණ වන්නේ අත් පා වල කෙළවර සමෙන් පටන් ගන්නා පිපුරුම්, දැවිලි සහිතව තෙත දියර ගලන ස්වභාවයකින් යුක්ත වීමයි.
මෙවැනි රක්ත දෝෂ සඳහා ආයුර්වේදයේ ශෝධන සහ ශමන ලෙස ප්‍රතිකාර ක්‍රම දෙකක් ඇත. ශෝධන ප්‍රතිකාරයේදී රෝග හේතුව ශරීරයෙන් ඉවත් කිරීම සඳහා මල, මුත්‍රා දහඩිය මාර්ගවලින් විරේචනය මඟින් රෝග හේතූන් හෙවත් විෂ කොටස් ශරීරයෙන් බැහැර කරවයි. ඊට අමතරව රක්ත මෝෂණය ද (අපිරිසුදු රුධිරය ඉවත් කිරීම) සිදු කරයි. මේ සඳහා කූඩැල්ලන් ඇල්ලීම, ශිරා වේදනා වැනි ක්‍රම භාවිත කරයි. ශමන ඖෂධ ලබා දීම මඟින් රෝගී තත්ත්ව මැඬ පවත්වා යටපත් කරයි. එමෙන්ම වාත රක්ත රෝග අවස්ථාවලදී සමේ පටක දූෂණයට ලක් වී තිබෙන බැවින් පටක නැවත ස්ථාපනය කිරීම සඳහා ද ඖෂධ ලබා දීම ද සිදු කරයි. ඒ අතරම ආහාර ජීර්ණයේ දුර්වලතා මගහරවන ඖෂධ ලබා දීමෙන් අලුතෙන් ශරීරයට එකතු වන පිරිසුදු රුධිරය නිසා එතෙක් පැවතුණු කැසීම්, පළු දැමීම්, ඉරි තැලීම්, දියර ගැලීම් වහ වහා සුවපත් වේ. මෙවැනි රෝග නැවත හට නොගැනීමට නම් ආහාර ජීර්ණය ඉතාම යහපත්ව සිදු විය යුතු අතර, ජීරක එන්සයිම විධිමත්ව සහ සමබරව ජීර්ණ පද්ධතිය තුළ ක්‍රියාත්මක කළ හැකි ඖෂධ යෙදිය යුතුයි. එවිට මෙවැනි රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් ශරීරය තුළ ඇති කළ හැකිය.
“පොතු කබර රෝගයෙන් පෙළෙන රෝගීන් ජීවත් වන්නේ ඉතාමත් අසරණ තත්වයකින්. සමහර කෙනකුට ජීවත් වීම පවා බරක් වී මානසිකව ඇද වැටෙනවා. ඒ ඉතා අප්‍රසන්න පෙනුමක් බාහිරින් පෙනෙන නිසයි. වෙනත් වෛද්‍ය ක්‍රම මඟින් මෙම රෝගය සුව කළ නොහැකි රෝගයක් ලෙස වර්ග කොට තිබුණත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මඟින් මෙම රෝගය සුවපත් කළ හැකි අතර එම රෝගයට හේතු වූ කරුණුවලින් වැළකීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය. නමුත් අවාසනාවකට මේ වෛද්‍ය ක්‍රමය ගැන ජනතාව තුළ නිසි අවබෝධයක් නොමැතිකමින් ප්‍රතිකාර සඳහා යොමු වීම අඩුයි”වෛද්‍ය ප්‍රියන්තා ජයකොඩි පවසන්නීය.
සොරයිසීස් යනු සම මරණයට පත් වීම බවත් එය සිදු වීමට බලපාන හේතුව මේ වන තෙක් සොයා ගෙන නැති බවත් සාමාන්‍ය මතයයි. ශාකයක් මරණයට පත්වන්නේ ඇයිද යන්න සලකා බැලීමේදී ශාකය ජීවත් කිරීමට අවශ්‍ය පෝෂණය; ජලය සහ වාතය නොමැති වූ විට බව අප කාටත් වැටහේ. ශාකයකට දිලීර හෝ බැක්ටීරියා හෝ වයිරස් ආක්‍රමණයක් හෝ පිළිල ආක්‍රමණයක් හෝ පැමිණි විට ශාකය තමා සතු සියලු උපක්‍රම භාවිත කළද ඉන් පරාජය වුවහොත් ශාකය විනාශ වී යයි. සම ද මරණයට පත් වන්නේ මේ හේතූන් මතය. පොතු කබර රෝගයට හේතුව වන්නේ ද මෙවැනිම වූ කාරණා දෙකකි. ඉන් පළමුවැන්න ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසියාකාරව නොලැබී යෑමය. අනෙක් කාරණාව ශරීරයට දරාගත නොහැකි මට්ටමේ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවී ප්‍රහාරයකට සමාන මුක්ත ඛණ්ඩක ලෙස හැඳින්වෙන ප්‍රහාරයකට සමේ ජීවී සෛල භාජනය වීමයි.
මෙවැනි අවස්ථාවක ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට ඇති ක්‍රම දෙකකි. ඉන් පළමුවැන්න ආහාරයි. දෙවැන්න අතිරේක පෝෂ්‍ය පදාර්ථයි. ආසාදනය වීමට කාලයක් ගතවන නිසා අදාළ පෝෂණ කොටස් ද කාලයක් තිස්සේ සිරුරට ලබා දිය යුතු වේ. එමඟින් අප ලබා දෙන ප්‍රතිකාර මඟින් ඉක්මන් ප්‍රතිඵල අත්කරගත හැකිය. දෙවැනි ප්‍රතිකාරය නම් අප ඉහත සඳහන් කළ මුක්ත ඛණ්ඩකවල ප්‍රහාරය නවතා ලීමයි. මුක්ත ඛණ්ඩකවල ක්‍රියාකාරීත්වය නවතාලීමට අප කළ යුත්තේ ප්‍රති ඔක්සිකාරක අපගේ සිරුරට ලබා දීමයි. එය අප විසින් ලබා දෙන ඖෂධ මඟින් සිදු වේ.
“මෑතකදී එන්නතක් ආසාදනය වීමෙන් එක් දියණියක් මා හමුවීමට පැමිණියා. ඇගේ අත් දෙකේ හා පාදවල කළු ලප ඇති වී කුෂ්ඨ රෝගී තත්ත්වයක් මතු වී පෙනුණා. කැසීම, දියර ගැලීම හා සම මතුපිට කළු ලප ඇති වීම නිසා ඇය බොහෝම අපහසුතාවයෙන් වගේම මානසිකව බිඳ වැටිලයි හිටියේ. මා මුලින්ම කළේ ඇගේ මානසිකත්වය ගොඩ නැංවීමයි. ඒ අනුව මේ රෝගයට බිය විය යුතු නැහැ,
එය සුව කළ හැකියි කියන මානසිකත්වය ඇය තුළ ඇති කළා. පසුව ප්‍රතිකාර ආරම්භ කළා. සති දෙකක් ඇතුළත ඇය සියයට අනූවක මට්ටමට සුවය ලැබුවා. දැන් ඇයගේ ඒ ලප කැළැල් මැකීගෙන යනවා. තවත් බොහෝ දෙනකුට තියෙන රෝගයක් තමයි නියපොතු දිරා යෑම. විවිධ හේතුන් නිසා නිය පොතු දිරායන්න පුළුවන්. උත්ථාන වාත රක්තය නිසා හා පොතු කබර රෝගය නිසා නිය යට විෂබීජ තැන්පත් වී දිලීර ආසාදනය වීම නිසා නිය දිරායෑම සිදුවෙනවා. රෝග තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබාදී නිට්ටාවටම සුවපත් කළ හැකියි. ඒ වගේම විශාල මානසික පීඩනයට ලක් වෙන සුදු කබර රෝගය මුල් අවස්ථාවේම හඳුනා ගැනීමෙන් සාර්ථකව අායුර්වේද ප්‍රතිකාර ලබා දිය හැකියි.”
වෛද්‍ය ප්‍රියන්තා ජයකොඩි පැවසුවේ වසර 26ක් වන ඇයගේ සේවා කාලයේදී විශාල රෝගීන් සංඛ්‍යාවක් සුවපත් කර ඇති බවත් එම රෝගින් අතර මුත්‍රා අශ්මරි (මූතා ගල්), ඇදුම, පීනස, අම්ල පිත්ත, ශීර්ෂ රෝග ආදී රෝගවලින් පීඩා විඳි රෝගීන් සිටි බවය.
“ඒ වගේම වැටීමකින්, බර ඉසිලීමකින් හෝ අංශභාගය නිසා හෝ අස්ථීවල පවතින දුර්වලතාවක් හේතුවෙන් ඇතිවෙන ස්නායු රෝග සඳහා මෙහිදී ප්‍රතිකාර ලබා දෙනවා. ඇතැම් අවස්ථාවල පෝෂණ දුර්වලතා නිසා ද මෙවැනි රෝගී තත්ත්වයන්ට ජනතාව ගොදුරු වෙනවා. ඒ අවස්ථාවන් නිවැරදිව හඳුනාගෙන ඒ අනුව ප්‍රතිකාර ලබා දීම සිදු කරනවා. මෙහිදී විවිධ ප්‍රතිකාර ඒ සඳහා යොදා ගැනෙනවා. සාමාන්‍යයෙන් තෙල් සාත්තුව, තැවීම, ස්වේද කර්ම (ශරීරය උණුසුම් කිරීම මඟින් දහදිය පිට කිරීමට සැලැස්වීම), පත්තු වර්ග, අභ්‍යන්තර කසාය (බඩට සහ ශරීරයේ ශෝධනය සඳහා), වස්ති කර්ම ආදී පංචකර්ම ප්‍රතිකාර ක්‍රම රෝගය අනුව ලබා දෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රම මඟින් ගොඩාක් හොඳ ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා”
එමෙන්ම අංශභාග රෝගීන් සඳහා ශිරෝධාරා (හිස මතට තෙල් වත්කිරීම), සර්වාංගධාරා (ශරීරය තෙලින් නැහැවීම), නස්ය කර්ම, වස්ති කර්ම ආදී පංචකර්ම ප්‍රතිකාර සිදු කළ හැකි බව ඇය පෙන්වා දෙන්නීය. නින්ද නොයෑම, හෝමෝන අසමතුලිතතාව, ස්නායු පද්ධතියේ ආබාධ, ආතතිය හා කාංසාව වැනි මානසික හා චිත්තවේගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ප්‍රතිකර්මය ඉතා අගනේය.
මෙහිදී සිදු කරන ශිරෝධාරා ප්‍රතිකාරය මනස හා ස්නායු පද්ධතිය සුවපත් කිරීම සඳහා යොදා ගනී.
මඳ උණුසුම්, ස්වාභාවික ශාකසාර තෙල් සත්කාරයක් රෝගියාගේ නළල මතට ගලා ඒමට සැලැස්වීම මඟින් එය සිදු කරයි. මෙය සරල ක්‍රියාවක් සේ පෙනී ගියද එය තරමක් සංකීර්ණ ප්‍රතිකාර ක්‍රමයකි. එය විශේෂයෙන් යෝග්‍ය වන්නේ මනසෙහි ක්‍රියාකාරීත්වය සමතුලිත කිරීම හා ස්ථාවර කිරීමටය. ඉන් රෝගියාට වඩාත් සුවදායි සහනයක් ලබා දෙයි. ප්‍රතිකාර ලබා ගැනීමට අවැසි අයකු නොම්මර 73/1 /එච්, පුවක්ගස්වත්ත, මාකන්දන, මඩපාත ලිපිනයට පැමිණීමෙන් වෛද්‍යතුමිය හමුවිය හැකිය.
රසික කොටුදුරගේ – සිළුමිණ