7 2

අපේ අම්මා ආච්චි අම්මා අගමැතිනිය සිරිමාවෝ

අනෝමා රාජකරුණා තම ජයග්‍රහණය ගැන ‘චමත්කාර’ට කතා කරයි

සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක නම් වූ ඒ රටත් දිනා ලොවත් දිනූ ගැහැනිය ඇසුරෙන් නිර්මිත වාර්තා චිත්‍රපටයක් නිසා අද තවත් කාන්තාවක් ලොව දිනා ඇත. ඒ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන අනෝමා රාජකරුණා මහත්මියයි. ඇය ‘Our Mother, Grand mother, Prime Minister : Sirimavo’ චිත්‍රපටය වෙනුවෙන් ඉකුත්දා 21 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී කාන්තා අංශයේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තාය. මේ ඇය සමඟ කළ කතාබහකි.

ජාත්‍යන්තර සම්මානලාභිනියක් වශයෙන් ඔබ දිනූ සම්මානය ගැන මොකද හිතන්නේ?

සම්මානයක් කියන්නේ සාමාන්‍ය දෙයක්. මම නම් වාර්තා චිත්‍රපටකරණය ඇතුළේ බලාපොරොත්තු වෙන්නේ වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට යන එකයි. වාර්තා චිත්‍රපටයක් වෘත්තාන්න චිත්‍රපටයකට වඩා වෙනස්. ඒක දීර්ඝ කාලයක් සමීක්ෂණ, පර්යේෂණ කරමින් කරන දෙයක්. එහෙම මහන්සි වෙලා කරලා, කාලයක් ඒකට මුදල් යොදවලා, කාලය කැප කරලා කරන දේකට කෙ‍නකුගේ ඇගයීමක් ලැබෙනවා කියන එක පෞද්ගලිකව සෑම මනුෂ්‍යයකුටම වගේ මටත් සතුටට කාරණාවක්. හැබැයි හැමදාම මම සම්මාන කියන දේ සාපේක්ෂයි කියලයි කල්පනා කරන්නේ.

සම්මාන උළෙලකදී මෙසේ ඇගයෙන්නේ ඔබේ කීවෙනි නිර්මාණය ද?

කීවෙනි එකද කියල නම් මටවත් මතක නෑ. මට දැන් අවුරුදු 57ක්. මම චිත්‍රපට හදන්න පටන් ගත්තේ අවුරුදු 17දි. ඉතිං අවුරුදු 40ක්ම මම චිත්‍රපට හදලා තියෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් වාර්තා චිත්‍රපට. ඒ වාර්තා චිත්‍රපට කිහිපයකට. ඒ අන්තර්ජාතික සම්මාන හිමි වුණා. මුලින්ම අන්තර්ජාතික සම්මානයක් හිමි වුණේ වයස අවුරුදු 24ට අඩු සිනමාකරුවන් වෙනුවෙන් පින්ලන්තයේ පැවැති සම්මාන උළෙලකදී ‘Bits Of Paradise’ කියන වාර්තා චිත්‍රපටයට. ඉන් පසුව රුසියාවේ බෝස්කෝ හි සිනමා උළෙලකදී මගේ ‘Tuching The Untuchable’ වාර්තා චිත්‍රපටයට විශේෂ ප්‍රේක්ෂක සම්මානයක් හිමි වුණා. ඒ වගේම 2005දි මම එල්ටීටීය සහ හමුදාව අතරට මැදි වුණු කාන්තාවන්ගෙ ජීවිත ගැන දීර්ඝ වාර්තා චිත්‍රපටයක් කළා. ‘The Other Women’කියලා.

මෙවර සම්මානිත ‘සිරිමාවෝ’ වාර්තා චිත්‍රපටය හදන්න මුල් වුණු විශේෂ හේතුවක් තියෙනව ද?

ඒකට මුල් වුණු හේතුවක් වුණේ, මැතිනිය ඉපදී තිබෙන්නේ 1916 අප්‍රේල් මාසෙ 17 වැනිදා‍. මැතිනියගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ උත්සව කිහිපයක්ම පැවැත්වුණා. මගෙත් බලාපොරොත්තුවක් තිබුණා මේ සියවස් සැමරුම වෙනුවෙන් යමක් කරන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා භූමිකාව සම්බන්ධයෙන් මම පර්යේෂණ කරමින් ඉන්නවා. ඒ නිසා මා සතුව ගොඩක් විස්තර තිබුණා. සිරිමාවෝ මැතිනිය කියන්නේ ලෝකයේ පළමු අගමැතිනිය. ඒකත් එක්ක මට යම් මතකාවර්ජනයක් කරන්න අවශ්‍ය වුණා. හැමෝම මැතිනියව දැකලා තියෙන්නේ වේදිකාවක් උඩ ඉන්න පළමු අගමැතිනිය විදියට විතරයි. හැබැයි මැතිනිය හෙවත් සිරිමාවෝ කියන ගැහැනිය කවුද කියන එක බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඒ නිසා ඇය ගැන මතකාවර්ජනයක් කරන්න මැතිනියට සමීපයෙන්ම සිටි කිහිප දෙනෙක් මේ සඳහා තෝරා ගත්තා.

කාවද ඊට තෝරා ගත්තේ?

මැතිනියගේ දියණියන් දෙදෙනා, සුනේත්‍රා සහ චන්ත්‍රිකා මැතිනිය, මුනුපුරා සහ මිනිපිරිය වන විමුක්ති සහ යශෝධරාත් අම්මා සහ මිත්තණිය ගැන මතකය අවධි කළා. එසේ කළ ඉතා පුංචි කොටසක් 2016දි ඇගේ ජන්ම ශත සංවත්සරය දා ඉදිරිපත් කළා. ඒත් එතැන් සිට යළිත් අවුරුදු 5ක් ඔවුන් සමඟ මෙන්ම මැතිනිය හා වෘත්තීය වශයෙන් සමීපව කටයුතු කළ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් දෙදෙනකු වන හිටපු අග්‍රාමාත්‍ය‍ ලේකම්වරයකු වූ ධර්මසිරි පීරිස් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ව සිටි නිහාල් ජයවික්‍රම මුණ ගැසී ඔවුන්ගේ මතකාවර්ජනයන් සිදු කළා. මේ හය දෙනා අතර ඇතිවන සංවාද විදියට තමයි මේ චිත්‍රපටය යන්නේ.

මෙහි විකාශන කාලය කොපමණ ද?

මේ වාර්තා චිත්‍රපටය මිනිත්තු 83ක් දිගයි.

මේ පිළිබඳ අදහස ඇති වෙලා නිෂ්පාදය කරන්න ඔබ වසර 5ක් ගත කරනවා. ඒ ඇයි?

මේ චිත්‍රපටය තනිකරම යන්නේ මම පෙර කියූ 06 දෙනාගෙ සංවාද ඇතුළෙ විතරයි. එවිට ඇතැම් මඟහැරුනු කාරණා ගැන නැවත නැවත විමසී, සම්මුඛ සාකච්ඡා කරන්න සිදු වුණා. ඒ වගේම පැය 40ක 50ක කාලයක් අප මෙය රූපගත කර තිබෙනවා. ඒක පැය එකහමාරක චිත්‍රපටයකට ගේන්න ලොකු සංස්කරණ කාලයක් ගත වෙනවා. මගේ සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගල එක්ක අවුරුදු කිහිපයක කාලයක් මේ සම්මුඛ සාකච්ඡා එකට අමුණමින් මතකාවර්ජන කළ අයගේ හඬවලින්ම ඒක ඉදිරිපත් කරන්න ලොකු මම ලොකු කාලයක් ගත්තා.

මෙහිදී බණ්ඩාරනායක පවුල ඇසුරු කිරීමට ලැබීමෙන් ලද අත්දැකීම් මොනවද?

මොවුන් අතරින් ඇතැම් අයව මම යම් යම් මට්ටමින් හඳුනනවා. චිත්‍රපටය නිර්මාණයේදී පවුලේ සියලු සාමාජිකයන්ව මම හමු වෙලා කිව්ටවේ මැතිනිය කියන අගමැතිවරිය ගැන නෙවෙයි, මව සහ මිත්තණිය කියන භූමිකාව ගැන කතා කරමු කියලා. මොකද මැතිනිය ගැන තව වාර්තා වැඩසටහන් ඕනෑතරම් තිබුණු නිසා මට ඕනෑ වුණේ වෙනසක්. එහිදී ඇගේ පෞද්ගලික කාරණා තමයි මම ඔවුන්ගෙන් විමසුවෙ. ඔවුන්ගෙන් බොහොම සුහදව මට ඊට සහාය ලැබුණා. යශෝධරා ප්‍රථම වතාවට තමයි මෙහෙම කතා කළේ. චන්ද්‍රිකා සහ සුනේත්‍රා අම්මාගේ හොඳ සහ නරක කතා කළා.

සිංහල ඉංග්‍රීසි භාෂා ද්විත්වයම යොදා ගත්තේ ඇයි?

අපි සම්මුඛ සාකච්ඡා කළේ දෙදෙනා දෙදෙනා අතරෙ. මතකාවර්ජනවලදී අනෙකාගෙන් ඒ ගැන තහවුරු කිරීම් වෙනවා. ඒ අයට එහිදී තමන් කැමති භාෂාවකින් කතා කරන්න අවස්ථාව සැලැස්සුවා. ධර්මසිරි පීරිස් මහතා හා නිහාල් ජයවික්‍රම මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් නිසා ඔවුන් එකිනෙකාට ආමන්ත්‍රණය කර ගන්නේ ඉංග්‍රීසියෙන්. ඒ වගේම සුනේත්‍රා සහ චන්ද්‍රිකා ඔවුනොවුන්ට භාෂා දෙකෙන්ම ආමන්ත්‍රණය කර ගන්නවා. එතකොට ඒ ඒ මොහොතවල සංවාද ඔවුන්ට කැමති භාෂාවකින් කළා. අවසානයේ මුළු චිත්‍රපටයම ඉංග්‍රීසියෙන් උපසිරැසිගත කළා.

මෙය නිෂ්පාදනයේදී මුහුණ දුන් අභියෝග මොනව ද?

මූලිකම අභියෝගය තමයි අපේ රටේ වාර්තා චිත්‍රපට සඳහා නිෂ්පාදකවරු හිඟ වීම. ඊට විශාල පිරිවැයක් දරන්න සිදු වෙනවා. ඒ ආර්ථික අභියෝග වගේම චිත්‍රපට සංරක්ෂණාගාරයක් නැතිකම ඊට ගොඩක් දුරට බලපෑවා. සංස්කරණ මැදිරි ගැටලුවත් බලපෑවා. වාර්තා චිත්‍රපට සංස්කෘතියක් නැතිකමත් ගැටලුවක්. වෙතන් රටවල් ඔවුන්ගේ වාර්තා චිත්‍රපට සඳහා බොහෝ දුරට යොදාගෙන තිබුණෙ සංරක්ෂිත දර්ශන. ඒ නිසා මම වගේම අනෙකුත් වාර්තා චිත්‍රපට හදන සෑම දෙනාටම මේ ප්‍රශ්න එක වගේ බලපානවා.

ඔබට බාහිර පාර්ශ්වයන්ගෙන් ලැබුණු සහාය කොහොම ද?

බොහෝ දෙනා අපට මෙහිදී තමන් සතු සංරක්ෂිත දර්ශන, දත්ත, වාර්තා සහ ඡායාරූප ලබා දුන්නා. විශේෂයෙන්ම සරත් පෙරේරා නමැති ඡායාරූප ශිල්පියා මැතිනියගේ සංරක්ෂිත ඡායාරූප කිහිපයක්ම ලබා දුන්නා. දේශීය සහ විදේශීයව යමකු ළඟ යම් තොරතුරක් ඇති බව දැනගෙන අප කතා කළා නම් ඔවුන්ගෙන් බොහෝ දෙනා ඒවා අපට දුන්නා.

ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ලද අත්දැකීම් මොනවා ද?

මේ 21 වැනි ඩකා සිනමා උ‍ළෙල. මම මීට පෙර එහි ප්‍රේක්ෂකයෙක් විදියටත් සහභාගි වී තිබෙනවා. 2020 අවුරුද්දෙදි එහි ජූරි සභිකයෙක් විදියට කටයුතු කළා. ඩකා සිනමා උළෙලේදී කාන්තාවන්ට හිමි තැන ලබා දීම විශේෂත්වයක්. ඒ අනුව, පළමු වතාවට ශ්‍රී ලංකාවෙන් ඩකා ජූරියට ගියෙත් මම. මේ සිනමා උළෙලට සමාන්තරව ‘Women In Cinama’ කියලා සමුළුවක් පවත්වනවා. මෙවර වගේම 2020දිත් මම ඊට සහභාගී වුණා.

සම්මානය හිමිකර ගැනීමෙන් පසු ලැබුණු පිළිගැනීම මොනවගේ ද?

බොහෝ දෙනා සුබ පැතුවා. බංග්ලාදේශයේ ඉන්න ශ්‍රී ලාංකිකයො කිහිප දෙනෙක් සිනමා දර්ශනයටක් පැමිණ සිටියා. මැතිනිය ගැන දන්න විදේශයන්හි සිටි අයගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා. චිත්‍රපට සංස්ථාවෙනුත් අපට ඉතා හොඳ සහායක් ලබා දුන්නා. ගුවන් තොටුපොළටත් ඇවිත් හොඳින් පිළි ගත්තා‍. මම බලාපොරොත්තු වෙනවා අපට මේක ඉක්මනටම අපේ රටේ ප්‍රේක්ෂකයාට පෙන්වන්නට පුළුවන් වෙයි කියලා.

ඉදිරි නිර්මාණ කටයුතු කොහොම ද?

මම මේ වන විට ශ්‍රී ලංකාවේ සමකාමී සහ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ගැන කෙටි චිත්‍රපට 4ක් නිර්මාණය කර පෙන්වමින් ඉන්නවා. බංග්ලාදේශයේ පැවැති එම ප්‍රජාව සම්බන්ධ චිත්‍රපට උළෙලකටත් මම සහභාගි වුණා. එහිදී ඉන්දු, නේපාල සහ බංග්ලාදේශ සිනමාකරුවන් හා සාකච්ඡාවකටත් මම එක් වුණා. ඒ වගේම මම මගේ අලුත්ම වාර්තා චිත්‍රපටයේ වැඩ කටයුතුත් කරමින් ඉන්නවා.

චාමිකා මුණසිංහ-දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *