1 7

ජනවාරි මාසය ඔබට කොහොමද?

– සිංහ ලග්න හිමියන්ගේ පෙර පින් මතු වෙයි
– මිථුන, කටක ලග්න හිමියන් අභියෝග අතරින් ඉදිරියට
– කන්‍යා, තුලා ලග්න හිමියන්ට ප්‍රීතිමත් කාලයක්
– මේෂ, වෘෂභ, මිථුන ලග්න හිමියන්ට රැකියා ලාභ

නව වසරක ආරම්භය සනිටුහන් කරන ජනවාරි මාසයේ ඔබේ ග්‍රහ පිහිටීම් අනුව සුබ අසුබ කෙසේද? සුවිශේෂී ග්‍රහ මාරුවක් මාසය මැද දීම සිදුවන බැවින් ඔබට දිරියෙන් යුතුව නව වර්ෂයට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත. යහ පැවැත්ම, ඉවසීම, ධාර්මික බව ඔබ සතු නම් අපල බල නොපවත්වන අතර, උත්සාහයෙන් කටයුතු කිරීමෙන් ග්‍රහයන්ගේ අසුබ කිරණ පලවා හරින්නටත් ඔබට හැකි වනු ඇත. සියලු ලග්න හිමියන්ට පොදුවේ දැනුම් දිය යුතු කරුණක් වන්නේ ජනවාරි 19 වැනිදා තෙක් දරුවන්ට අපල වැඩි කාලයක් බැවින් කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීමට වැඩි අවධානයක් දක්වන ලෙසටයි.

මේෂ – ලොතරැයි දිනුම්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති දෙවැනි භාවයේත් යෝගකාරක රවි 9 වැන්නේත් තැන්පත්ව සිටීම හිතකරය. උසස් සහ රාජ්‍ය අංශවල නිලධාරින්ගෙන් උදව් උපකාර ලැබීමට හැකියාව ඇත. පසුගිය වසරේ අතපසු වූ වැඩ කොටස් සහ ගෘහ ආශ්‍රිතව දියුණුවක් සලසා ගැනීමටත් පුළුවන. ආවේගශීලී බවින් මිදී යහපත් සිතුම් පැතුම් ඇතිව ඉවසීමෙන් කටයුතු කරන්න. සෙනසුරු මාරුවෙන් ද ඔබට සුබ පල ලැබෙනු ඇත.

රැකියාව :- මාසයේ මැද කොටසෙන් පසුව ඔබට රැකී රක්ෂා උසස්වීම්, පඩි වැඩිවීම්, නව රැකියා ලැබිය හැකිය.

අධ්‍යාපනය :- පසුගිය වසරට වැඩියෙන් නැණ නුවණ මෙහෙයවා කටයුතු කිරීමට දරුවනට හැකියාව ලැබෙනු ඇත. ප්‍රාථමික අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට ද ජයග්‍රහණ අත්වෙයි.

සෞඛ්‍යය :- හිසරදය, සෙම්රෝග, උෂ්ණාධික රෝග, ලේ දෝෂ පැවතිය හැකිය.

අය 11, වැය 9, සුබ අංක 1, 2, 4, සුබ වර්ණ – රතු සහ නිල්

සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා සහ සෙනසුරාදා

අපල අවම කර ගැනීමට කොළොන් කොළ මත පහන් දල්වා කනේරු සහ වෙනත් රතු මල් වර්ග පූජා කර බෝධි පූජාවක් වර්ෂයේ පළමු අඟහරුවාදා දින තැබීම වඩාත් සුදුසුය. එසේ බෝධි පූජා පවත්වා දෙවියන්ට පින් දෙන්න. තෙල් පහන් තිර සහ මල් ආදිය වඳින පුදන අයට ලබා දෙන්න.

වෘෂභ – පුණ්‍ය කටයුතුවලට වැඩි නැඹුරුවක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිකුරු සහ යෝගකාරක ශනි ග්‍රහයා 9 වැන්නේ තැන්පත් වීම සුබ පල ගෙන දෙයි. දැහැමි සිතුවිලි පෙරදැරිව කරන්නාවූ කටයුතුවල ප්‍රතිඵල සුබවාදී වේ. ගෘහ ජීවිතයේදී සුළු ගැටලුකාරී තත්වයන් ඇති වුවත් ගෙදරදොර දියුණුව ඇති වේ. විවාහ අපේක්ෂා, දරු පල සිහින සැබෑවේ. හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබේ.

රැකියාව :- මාසයේ මැද කොටසෙන් පසු රැකියාවේ සුබවාදී වෙනස්කම් මතු කරයි. ධනය ලැබීමට හේතුයි. මහජන සුබසිද්ධිය පිණිස පුරෝගාමිත්වයෙන් කටයුතු කිරීමට ද සිදුවේ.

අධ්‍යාපනය :- ඉගෙනීමේ කටයුතුවලට පහසුකම් සලසා දීමට හිතමිත්‍රාදීන්ගේ සහාය ද ලැබේ. ගුරු මහ දශා ගත කරන අයට ඉතා යහපත් වන අතර, අනෙක් අයට ද තමා තෝරාගත් අංශවලින් සුබ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත.

සෞඛ්‍යය :- දණහිස් ආබාධ සහ හෘදයාබාධවලට ඉඩ ඇත.

අය 11, වැය 8, සුබ අංකය 6, සුබ වර්ණය – ක්‍රීම්

සුබ දවස් – සිකුරාදා සහ සෙනසුරාදා

අපල අවම කර ගැනීමට නැති බැරිකම් ඇති තරුණ දුවා දරුවනට හැකි

අයුරින් උදව් උපකාර කරන්න. දස දිසා පිරිත කියන්න.

මිථුන – ජයග්‍රාහී මාසයකි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති බුධ 7 වැන්නේ සහ යෝගකාරක සිකුරු 8 වැන්නේ ගුරු කර්මස්ථානගතව සිටින බැවින් මේ මාසය ඔබට හිතකරය. ගෙදරදොර දියුණුව, බලාපොරොත්තු ඉටුකර ගැනීමට, දිරියෙන් ශක්තියෙන් කටයුතු කරන්නට හැකියාව ලැබෙයි. දරුවන්ගේ විවාහ ප්‍රමාද වූයේ නම් ඒවාට ද දරු මුනුපුරන් දැකීමේ භාග්‍යය ද උදා වෙයි.

රැකියාව :- දැනට කරගෙන යන්නා වූ රැකියාවල දියුණුවත් නව රැකියා ලැබීමට අවස්ථාවන් ද උදා වේ. මාසයේ මැද භාගයෙන් පසු විශේෂ දියුණුවක් ඇති වේ.

අධ්‍යාපනය :- දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබ කාලයකි. පොතපතේ දැනුම මෙන්ම පරිගණක තාක්ෂණ ආදියෙන් ලබා ගන්නා දැනුමෙන් සහ උසස් විභාග ශිෂ්‍යත්ව ආදියෙන් ජයග්‍රහණ ලබයි.

සෞඛ්‍යය :- පා ඇඟිලි හිරිවැටීම්, හිසරදය, සෙම් රෝග, අක්ෂි රෝගවලට ඉඩ ඇත.

අය 5, වැය 3, සුබ අංක 3 සහ 5, සුබ වර්ණ – කොළ සහ කහ

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා

බදාදා දවස නිර්මාංශ වීම, කොහොඹ පැළයකට සත්කාර කිරීම සහ දරුවනට පොතපතේ දැනුම ලබා දීමත් තුළින් අපල මඟ හරවා සුබ පල වර්ධනය කර ගත හැකිවේ. රතන සූත්‍රය කීම, ශ්‍රවණය කිරීම ද සුබපල ගෙන දෙයි.

කටක – අභියෝග ජය ගැනීමට ධෛර්යය

ගෘහ ජීවිතය :- ලග්නාධිපති කර්මස්ථානගතව ආරම්භ වන මාසය යෝගකාරක කුජ 11 වැන්නේ තැන්පත්ව ඇත. ලැබීම් සහිත වුවත් ඇවිදිලි වැඩ යෙදෙයි. මාසයේ මැද භාගයෙන් පසුව ඒරාෂ්ටක තත්ත්වයක් ආරම්භ වෙන බැවින් කරන කියන කටයුතුවලදී ආරක්ෂා වීම, කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත් වේ.

රැකියාව ‍:- රැකියා කටයුතු වෙනුවෙන් බොහෝ වෙහෙස වීමටත් දුර බැහැර යෑමටත් සිදුවේ. මානසික පීඩනය ඇතිවේ. අවිවේකය බලපවත්වයි. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් සියලු අභියෝග ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

අධ්‍යාපනය :-දරුවන්ට දැනුමෙන් අවබෝධයෙන් අභියෝගාත්මක විභාගවලට මුහුණ දීමේ ශක්තිය ඇතිවේ. උසස් අධ්‍යාපනය ලබන සියලු දරුවන් දැඩි උත්සාහයෙන් මතක ශක්තිය පවත්වාගත යුතු මාසයකි.

සෞඛ්‍යය :- මුත්‍රා ආසාදන, කලවා වේදනා සහ සෙම් රෝග සහ හදිසි සුළු අනතුරු ඇති විය හැකිය.

අය 11, වැය 10, සුබ අංක 2, 5 සහ 9 සුබ වර්ණය – සුදු

සුබ දවස් – සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

අපල අවම කර ගැනීමට සෙනසුරු ග්‍රහයාට කරන පුද පූජා කර විෂ්ණු දෙවියන්ට පින් දෙන්න.

සිංහ – සමාජයීය වගකීම් ඉහළට

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 5 වැන්නේත් යෝග කාරක කුජ කර්මස්ථානය වූ 10 වැන්නේත් සිට ආරම්භ කරන මාසය අහිතකර නොවේ. පෙර පින මතු කරමින් ගෘහ ජීවිතයේ සමාදානය සහ එකිනෙකාට ගෞරවය ඇතිව කටයුතු කරයි. දරුවන්ගේ සියලු ජයග්‍රහණ ද ඇතිව සතුටින් දියුණුවට අදාළ මාර්ග සකසා ගැනීමට උනන්දුව පවත්වා ගනී. සමාජයීය වගකීම් හොඳින් ඉටුකරයි.

රැකියාව :- රැකී රක්ෂා, වෙ‍ළෙඳාම් අභිමානයකින් සහ එඩිතර ක්‍රියාශීලී බවකින් කරගෙන යයි. වචනයේ සහ ක්‍රියාකාරීත්වයේ බලයෙන් ජයග්‍රාහී මාසයක් වෙයි. ධනය සහ ලාභ උපයාගත හැකිය.

අධ්‍යාපනය :- අධ්‍යාපන කටයුතු ඉතා උනන්දුවෙන් කරයි. රාජ්‍ය මට්ටමේ ජයග්‍රහණ ලැබීමට ද හැකියාව ඇත. පොතපතේ දැනුම, මතක ශක්තිය වර්ධනය වේ.

සෞඛ්‍යය :- සෙම් පිත් රෝග, අජීර්ණ, ස්නායු දෝෂ ඇතිවීමට ඉඩකඩ ඇත.

අය 14, වැය 11, සුබ අංක 1 සහ 4, සුබ වර්ණය – රතු

සුබ දවස් – ඉරිදා සහ අඟහරුවාදා

අපල අවම කර ගැනීමට සෙනසුරාදා දින නිර්මාංශව දැහැමි කටයුතුවල යෙදෙන්න. බෝධි පූජා තබා පැන් කළයකින් බෝධිය නහවා දෙවියන්ට පින් දෙන්න. නුග වෘක්ෂයකට ද ජලය දමන්න. මෝර පිරිත සෑම උදයකම කියන්න.

කන්‍යා – ප්‍රීතිමත් කාලයක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිවුවැන්නේත් යෝගකාරක සිකුරු 5 වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ වන මාසය ජීවිතයේ නවතාවයක ආරම්භයයි. කථාබහ අඩුවෙන් ද දැනුම වැඩියෙන් ද උකහා ගන්නා කාලයකි. ගෘහ ජීවිතය තුළ සමගිය, සමාදානය පවත්වා ගැනීමට හැකිවන අතර අතපසු වූ කටයුතු කීපයක් යළි ආරම්භ කිරීමට හැකිවේ. සමාජයීය බැඳීම් වැඩිවේ.

රැකියාව :- දැනට කරගෙන යන්නාවූ රැකියාවන් තුළින් ඔබ උපරිම සාධාරණයක් ඉටුකරයි. රට දැයට කළ යුතු දේ වැටුපට ණය නැතිවම ඉටුකරයි. ඇතැම් විට රැකියාවේ උසස්වීමක් හෝ විදෙස්ගත වීමක් සිදු විය හැකිය.

අධ්‍යාපනය :- විද්‍යා, කලා, වාණිජ ඇතුළු සියලු ක්ෂේත්‍රවල දැනුම ලබා ගන්නට දරුවන්ට බාධා ඇති නොවේ. එඩිතරව අභියෝගවලට මුහුණ දිය හැකි වාතාවරණයක් පවතී.

සෞඛ්‍යය :- ස්නායු ආබාධ, ලේ දෝෂ, හදිසි සුළු අනතුරු පැවතිය හැකිය.

අය 5, වැය 3, සුබ අංක 2, 3, 5 සහ 7, සුබ වර්ණය – කොළ

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා

සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් කරන සෙත් ශාන්ති කර විෂ්ණු දෙවියන්ට පින් දීමත් කොහොඹ පැළයකට සත්කාර කිරීමත් මඟින් අපල අවම කරගත හැකිය.

තුලා – පදිංචි ස්ථානයේ දියුණුව

ගෘහ ජීවිතය :- සෑම දෙයක් පිළිබඳවම අලස බවකින් තොරව නව වසරේ ආරම්භයක් ගැන නිහඬ විමර්ශනයක යෙදෙන බවක් පෙන්වයි.යුග ජීවිතයේ සුළු සුළු මත ගැටුම් පැවතිය හැකි වුවත් සාමකාමීව විසඳාගත හැකිවේ. ගේ දොර අලංකරණ කටයුතු සිදු කරමින් පදිංචි ස්ථානයේ දියුණුවක් අපේක්ෂා කරන කාල වකවානුවකි.

රැකියාව :- ස්වයං රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. මාසයේ මැද කොටසින් පසුව කුමන අංශයක රැකියාවක් වුවද සාර්ථකත්වයට පත්වේ. නව රැකියා ලැබීම්, විදෙස්ගතවීම් ද සිදුවිය හැකිය.

අධ්‍යාපනය :- ප්‍රාථමික අංශවල දරුවන්ගේ දැනුම වර්ධනය වන කාලයකි. විභාග ජයග්‍රහණ බලාපොරොත්තු වීමට පුළුවන.

සෞඛ්‍යය:- උණ රෝග, වකුගඩු, මුත්‍රා දෝෂ හා ශල්‍යකර්ම ආදියට ඉඩ ඇත.

අය 11, වැය 8, සුබ අංක 3 සහ 6, සුබ වර්ණ – සුදු සහ ක්‍රීම්

සුබ දවස් – සිකුරාදා සහ සෙනසුරාදා

අපල අවම කර ගැනීමට කරඳ කොළ මත පහන් තබා බෝධිපූජා කර

දෙවියන්ට පින් දෙන්න. කරඳ පැළයකට සාත්තු කරන්න.

වෘශ්චික – අධ්‍යාපනික ජයග්‍රහණ

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 7 වැන්නේත් ගුරු 5 වැන්නේත් පිහිටා ආරම්භ වන මාසය පෙර පින මතු කරමින් ගෘහ ජීවිතයේ දියුණුවකට මඟ පාදයි. මාසයේ මැද භාගයෙන් පසුව පදිංචි ස්ථානයේ දියුණුව මෙන්ම පුණ්‍ය කටයුත්තකට ද මඟ පෑදෙයි. නිවැසියන් ගුණ ධර්ම අතින් වඩාත් යහපත් පුද්ගලයන් බවට පත්වෙයි. ආර්ථික දියුණුවක් ඇති කරයි.

රැකියාව :- ලිපි ලේඛන සම්බන්ධ කටයුතුවලින් ප්‍රයෝජන අත්වෙන අතර ඒ හා සම්බන්ධ රැකියා ස්ථානවල සිටින අයට ද වාසි අත්වෙයි. මාසයේ මැද භාගයේ සිට ස්වයං රැකියා දියුණු වෙයි. රටට වැඩදායක වූ සේවාවන්වල නිරත වන්නට බොහෝදෙනෙකුට අවස්ථා සැලසේ. ආර්ථිකය සුබ අතට හැරේ.

අධ්‍යාපනය :- ඉගෙනුම ලබන සියලුම දුවා දරුවනට සුබ පල සහිත මාසයකි. මතක ශක්තිය වර්ධනය කෙරේ. පොතපත දැනුම වැඩි දියුණු වෙයි. අභියෝගාත්මක විභාගවලින් ජයග්‍රහණ අත්කර දෙයි.

සෞඛ්‍යය :- ගර්භාෂගත රෝග, කොඳුඇට පෙළේ වේදනා, මුත්‍රා දෝෂ බලපවත්වයි.

අය 7, වැය 5‍, සුබ අංක 1, 2 සහ 4, සුබ වර්ණය – රතු

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින රතුමල් ටිකක් චෛත්‍යයක් අබියස පුදා එළඟිතෙල් පහනක් දල්වා පන්සිල් රැගෙන දෙවියනට පින් දී රතන සූත්‍රය කියන්න.

ධනු – අතමිට සරු කාලයක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නයෙන් 6 වැන්නේත් ගුරු සිවුවැන්නේත් ගෝචර වෙමින් ආරම්භ කෙරෙන මාසය සුබ පල ඇති කරයි. සතුරන් මර්දනය කරමින් තම අභිප්‍රායන් කරා එඩිතරව යෑමට පසුබට නොවේ. පදිංචි ස්ථානය, පදිංචි නිවෙස ගැන දැඩි ඕනෑකමකින් වැඩකටයුතු කරමින් දියුණුවට කටයුතු සම්පාදනය කරයි. අතපසු වූ වැඩ කොටස් හා නව ආදායම් මාර්ග පිළිබඳ උනන්දු වෙයි.

රැකියාව :- ධර්ම කර්මාධිපති යෝගය ඇතිව 10 වැන්නේ අධිපති ලග්න භාවයේම තැන්පත් වීම නිසා රැකියාව පිළිබඳ සුබවාදී වෙනසක් දක්නට ලැබෙයි. විදෙස් රැකියා ගමන් සහ උසස් තනතුරුවලට භාග්‍යය පවතී. රාජ්‍ය අංශවල ආධාර උපකාර ද හිමිවේ. ආර්ථිකය ශක්තිමත් වේ. ධනය අතමිට ගැවසේ.

අධ්‍යාපනය :- ඉගෙනුම් ලබන දුවා දරුවනට බාධක යෙදෙන්නට ඉඩ ඇත. ආගම දහමට අනුව කටයුතු කිරීමත් මනා සිහිබුද්ධිය පවත්වා ගැනීමත් අවශ්‍ය බැවින් භාවනාවක නිරත වීම සුදුසුය.

සෞඛ්‍යය:- උදරාබාධ, ලේ ගමන අඩුවැඩි වීම, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳිය හැකිය.

අය 14, වැය 11, සුබ අංක 3 සහ 5, සුබ වර්ණය – කහ

සුබ දවස් – ඉරිදා, බදාදා සහ සෙනසුරාදා

ස්වාමීන් වහන්සේලාට කහපාටට හුරු ගිලන්පස පිළිගැන්වීම, ධර්ම ශ්‍රවණය කිරීම, වැඩිහිටි අසරණ අයට සැලකීම ආදියෙන් අපල අවම කර ගත හැකිය.

මකර – නව ආදායම් මාර්ග

ගෘහ ජීවිතය :- ලග්නාධිපති යෝගකාරක සිකුරු සමඟ ලග්නගත වීම සුබදායකය. ගෘහ ජීවිතය තුළ සිය පෞරුෂත්වය විදහා දැක්වෙන අතර, එදිනෙදා කටයුතු ඉතා ඕනෑකමින් කරගෙන යයි. පසුගිය කාලයේ අතපසු වූ වැඩකටයුතු නැවත ආරම්භ කරමින් ආර්ථිකය ගොඩනංවා ගැනීමට මහත් වෑයමක නිරත වෙයි.

රැකියාව :- තම සැප විහරණය කැපකර රාජකාරි කරයි. නව රැකියා ලැබීම්, රැකියා උසස්වීම්, රැකීරක්ෂා සඳහා විදෙස්ගත වීම් සිදුවිය හැකිය. නව ආදායම් මාර්ග ද පැමිණේ.

අධ්‍යාපනය :- විද්‍යා පරිගණක තාක්ෂණ අංශවල ඉගෙනගන්නා දරුවනට දැනුම වර්ධනය වන ග්‍රහබල ඇත. ඒ අය උසස් විභාගවලින් ජයග්‍රහණ ලබයි.

සෞඛ්‍යය :- ලේ දෝෂ, ස්නායු ආබාධ, අක්ෂි රෝග හා පාදවල වේදනා හටගනී.

අය 8, වැය 6, සුබ අංක 6, 8 සහ 9, සුබ වර්ණය – නිල්

සුබ දවස් – සෙනසුරාදා සහ සිකුරාදා

අපල අවම කර ගැනීමට සෙනසුරු අපලයට කරනු ලබන වත් පිළිවෙත් සමඟ වැටකේ පැළයක් නිරිත දෙසින් සිටුවා සත්කාර කරන්න. වැටකෙයියා මල් පූජා කරන්න.

කුම්භ – විදෙස්ගත වීම්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 12 වැන්නේ යෝග කාරක සිකුරු සමඟ තැන්පත් වීම තරමක් දුරට වැය පක්ෂය වැඩි වීමකි. විදෙස්ගත හිතමිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. පදිංචිය සඳහා විදෙස්ගත වීමට තිබෙන ඉඩකඩ වැඩිය. ගෙදරදොර දියුණුව සලසා ගනී. දරු පල, විවාහ අපේක්ෂා සඵල වේ.

රැකියා :- මාසයේ මැද භාගයෙන් පසුව තමන්ට නව රැකියා ලාභ අත්වෙන අතර, තිබෙන රැකියාවට වැඩි වටිනාකම් එකතු වේ. පිරිස් බලය ඇතිවේ. තමා යටතේ කිහිපදෙනෙකුට රැකියා අවස්ථා දීමට හැකියාව ලැබේ. ධනය උපයා සපයා ගැනීමට සුබ කාල වකවානුවකි.

අධ්‍යාපනය :- සා.පෙළ ඉගෙනුම් ලබන වයසේ දරුවනට සිය දක්ෂතාව මත උපාධි ඩිප්ලෝමා වැනි උසස් පාඨමාලාවන්ට යොමුවීමේ හැකියාව පවතී. ප්‍රාථමික අධ්‍යාපනය ලබන කුඩා දරුවන්ගේ මතක ශක්තිය තරමක් දුරට අඩුවිය හැකි අතර, උපක්‍රමශීලීව ඒ තත්ත්වය නඟා සිටුවීමට මවුපියන් උනන්දු විය යුතුය.

සෞඛ්‍යය :- ස්නායු ආබාධ, අස්ථි බිඳීම්, උරහිස් වේදනා ඇති විය හැකිය.

අය 8, වැය 7, සුබ අංක 3 සහ 8, සුබ වර්ණය – නිල්

සුබ දවස් – සිකුරාදා සහ සෙනසුරාදා

අපල අවම කර ගැනීමට සෙනසුරාදා දින නිර්මාංශ වී බෝධිපූජා පවත්වා දෙවියන්ට පින් දෙන්න. දුර්වල අයට, රෝගීන්ට, මහලු අයට උපකාර කරන්න.

මීන – ධනලාභ

ගෘහ ජීවිතය :- වසරේ මුල් මාසය අයහපත් නොවේ. සහෝදරාදීන්ගෙන් උපකාර හිමිවේ. උගත් බුද්ධිමත් අයගේ ඇසුර අවවාද අනුශාසනා අසන්නට ලැබෙයි. පවුලට අලුත් සාමාජිකයන් එක් වීමේ ප්‍රවණතාවක් ද ඇත. අනාගත දියුණුවට වැඩදායී වන කරුණු ක්‍රියාත්මක කිරීමට අවතීර්ණ වෙයි.

රැකියාව :- ඇවිදිලි සහිත රැකියාවලට බොහෝදුරට ඉඩකඩ පවතී. ලිපි ලේඛන සම්බන්ධ කටයුතු කරන්නන්ට වාසිදායකය. මාසයේ මැද භාගයෙන් පසුව විදෙස් ගමන් සඵල වීමට ද ඉඩ ඇත.

අධ්‍යාපනය :- ගායන හැකියාව සහිත, නීතිය හදාරන සහ පරිගණක ක්ෂේත්‍රයේ නියැළි දරුවන්ට ද සිය දක්ෂතාවන් වර්ධනය වන ග්‍රහබල ශක්තීන් පවතී.

සෞඛ්‍යය :- කලවා, දණහිස් වේදනා සහ ස්නායු ආබාධ ඇති විය හැකිය.

අය 14, වැය 10, සුබ අංක – 3 සහ 9, සුබ වර්ණ – රතු සහ කහ

සුබ දවස් – අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

අපල අවම කර ගැනීමට වැඩිහිටි, ගුරුවර සහ භික්ෂූන් වහන්සේලාට උවැටන් කරන්න.

ප්‍රවීණ ජ්‍යේති­ර්වේ­දිනී ශ්‍රීයා ගනේ­ගොඩ

සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *