චීවර මාසය ඇරඹෙන උතුම් වූ වප් පුන් පෝය | Poya Day
වස්සාන සමයට අයත් මාස හතරෙන් හතරවන මාසය වප් මාසය හෙවත් කඨින චීවර පූජා කරන මාසයයි.එහෙයින් මෙම මාසය චීවර මාසය ලෙසද නම් දරනු ලැබේ.වප් පෝයත් සමග ආරම්භ වන චීවර මාසය තුළ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින සෑම විහාරයකම කඨින පින්කම් සිද්ධ කෙරේ.”කඨින”යන වචනයෙන් අදහස් කරනුයේ නොබිඳිය හැකි,සිදුරු කළ නොහැකි කුසල කර්මයක් යන්නය.බුදුවරයන් වහන්සේලා පවා පසස්නට යෙදුන උදාරතර මාහැඟි පින්කමක් ලෙසද මෙය සඳහන් කළ හැකිය.වර්ෂයකට එක් අවස්ථාවක් පමණක් සිදුකළ හැකි ,අටමහා පින්කම් අතර අග්‍රගණ්‍ය ,ශ්‍රේෂ්ඨතම පින්කම වන කඨින මහා පින්කමේ සමාරම්භය සිද්ධ වන්නේද වප් පුර පසළොස්වක පෝය දිනකදීය.
වප් යනු වැපිරීමයි.ඒ අනුව බීජ වපුරන,සිටුවන කාලයද පදනම් කරගනිමින් මෙන්ම කෘෂිකාර්මික කටයුතු වලට මුල් තැනක් දෙමින් කටයුතු සිදුවෙන නිසා මෙම පෝය වප් පෝය නමින් හැඳින්වෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
මෙම පෝය තුළ සිදුවූ සාසනික වැදගත්කම් බොහෝමයකි.ඒ අතර,
*මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් ඵලය ලබාදී සංකස්සපුරයෙන් මනුලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදුකල පූජනීය පොහොය වීම.
*අගසව් දෙනම අතරින් දකුණත්සව් ලෙසින් වැඩසිටි බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවෙනි වූ සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත්වීම.
*කල්ප ලක්ෂයක් මතුයෙහි බුදුවන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් වීම.
*අනුලාදේවිය ඇතුලු කුල කතුන් පැවිදි බිමට ඇතුළත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුලු භික්ෂුණී සංඝයා සමග ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඩමවීමට දූත පිරිසක් දෙවනපෑතිස් නිරිදු විසින් දඹදිවට පිටත්කර හැරීම.
*ථූපාරාමයේදී සිදුකල විනය සංගායනාව සිදුවීම.
*ජයශ්‍රී මහා බෝධි අංකුරය මහබෝධියෙන් ගැලවී රන් කටාරමක පිහිටීම.
*වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය සිදුකිරීම.
මෙලෙස ශාසනික වශයෙන් වටිනාකම් රැසක් ඇති උතුම් වූ පෝය දිනයක් ලෙස වප් පුන් පෝදා සඳහන් කළ හැකිය.
- නැ/හෝකන්දර , බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී, පූජ්‍ය බැද්දේවල ධම්මකිත්ති හිමි.