dhdhdhdhdh 1

” ජයහඬ ” කතිකාවත-

මම 1969 දී තමයි කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටියෙන් ආරම්භය ගත්තේ.. ගුවන් විදුලිය සමඟින් හා දශක 5 පමණ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටියා…ප්‍රවීණ මාධ්‍යවේදි උදේනි ගලහිටියාව …

” ජයහඬ ” කතිකාවත මංගල පියවර ආරම්භ කරමින් මා අද මුණගැසෙන්නේ කලාවට , ජනමාධ්‍ය ක්ෂේත්‍රයට, ලෙංගතු හදවතකින් හෙබි චරිතයක්. දශක පහකටත් වඩා මාධ්‍ය තුල විවිධ කටයුතු වලට දායකවූ ප්‍රවීණයෙක්.විශේෂයෙන්ම ගුවන් විදුලියේ මහ ගෙදර වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිය මාධ්‍ය ජීවිතයේ නොමැකෙන සංධිස්ථානයක් කරගනිමින් අපූර්ව කුසලතා විදහා දැක්වූ කලා කරුවෙක්.. …ඉතාමත්ම නිහතමානි සුන්දර මිනිසෙක්…ඔහු තමයි බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගනේමුල්ල නම් සුන්දර පරිසරයකදී මෙලොව එළිය දිටි මහර කලා අභිනන්දන ගෞරව සම්මානයෙන් පිදුම් ලත්…. උදේනි ගලහිටියාව මැතිඳුන්…
වසර ගණනාවක් මා හා ලෙංගතු ඔහු ජයහඬ ගුවන්විදුලියටද එකසේ ඇල්මක් දක්වන පුද්ගලයෙකි….

පසුගියදා මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවති ජාතික කලා මහෝත්සවයට පසු පැවති සංස්කෘතික බල මණ්ඩලයේ විශේෂ මහ සභා රැස්වීමකින් අනතුරුව ” ජයහඬ ” වෙනුවෙන් මා සමඟ කතාබහ කරන්නට එක් වූයේ නිරායාසයෙනි …

මගේ හිතටද ඉමහත් සතුටක් දැනුනි. මන්ද යත් ” ජයහඬ කතිකාවත ” මංගල පියවර ආරම්භ කරන්නට සංස්කෘතික කලාව දායාද කරගත් සුහද හදවතක් එක් කර ගැනීමට හැකිවීම ගැන ….

ඉතින් අපි මෙහෙමයි කතිකාවට එළඹුනේ…

📻..
ආයුබෝවන් උදේනි මහත්තයා ..

ආයුබෝවන් ..ආයුබෝවන් ..
📻..
බොහොමත්ම සතුටුයි ඔබ වැන්නෙක් සමඟ කතාබහ කරන්නට ලැබීම…
අද විශේෂ දිනයක්. ඔබ කොහොමද අද මෙම විශේෂත්වය දකින්නෙ..

ඇත්තෙන්ම බංඩාර මහත්තයා මටත් පුදුම සතුටක් දැනෙනවා. අද වැනි දිනෙක මෙම කතිකාවට මට සහභාගි වෙන්න ලැබීම ගැන ..කොටින්ම කියනවා නම් මෙවන් අවස්ථාවක් එයි යන හැඟුම මගෙ හිතට දැනුණා…

📻..
හොඳයි එහෙනම් අපි කතා කරමු.. ඔබතුමා නමින් උදේනි ගලහිටියාව … එකදහස් නවසිය හැට ගණන්වල පවා අපට මේ නම හුරුයි… ඉතින් පොඩ්ඩක් එතැන් පටන් කෙටි ආරම්භයක් ගත්තොත් ..
ඔව් . ඔබ නිවැරදියි. මම 1969 දී තමයි කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටියෙන් ආරම්භය ගත්තේ.. ගුවන් විදුලිය සමඟින් හා දශක 5 පමණ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටියා…

📻
ගුවන් විදුලි සංස්ථාවේ ඔබතුමාට අමතක නොවන මතක රාශියක් ඇති.
එකක් දෙකක් හෝ මතක් කලොත්….

1969 වසරේ….මෙයට වසර 53 ට පෙර මම කරුණාරත්න අබේසේකර සූරීන් (කරු අයියා) හමුවීමට ගියේ මගේ මිතුරෙක් වූ ෆීලික්ස්. ඩී.ප්‍රනාන්දු සමග ” කරු අයියාගේ ලමා මණ්ඩපයට” සම්බන්ධ වීමේ දැඩි ආශාවෙනුයි. කරු අයියාගේ හොඳම ගෝලයෙක් වු ෆීලික්ස්ට එදා භාරව තිබුනේ කරු අයියා එන්නට පෙර ප්‍රචාරයට සුදුසු ලිපි/කවි/නාට්‍ය/විචිත්‍රාංග ආදිය තෝරා ලිපි ගොණුව සූදානම් කිරීමයි. එය අවසන් වෙනවාත් සමගම පැමිණි කරු අයියාත් පෙරටු කරගෙන ගුවන් විදුලි කොරිඩෝව දිගේ අපි පිය නැගුවේ 05 වෙනි මැදිරිය වෙතයි. කරු අයියාගේ පිටුපසින් අපි කොරිඩෝවේ ගමන් කරන අතරම ෆීලික්ස්……
“කරු අයියේ මේ මගෙ උදේනි කියල යාලුවෙක්.ලමා මණ්ඩපයට සහභාගී
වෙන්න….” කියූ සැණින් ආපහු හැරී ෆීලික්ස්ට කීවේ..
“අයිසෙ තමුසෙ ඊයෙ ගෙනා
මිනිහ අද නෑ.. අද ගේන මිනිහා හෙට නෑ…” කියත්ම මම බියෙන් සැලුනත්.. ෆීලික්ස් මගෙ අතින් අල්ලා ගත්තේ ” ගණන් ගන්න එපා.කරු අයියගෙ හැටි එහෙම තමයි “කියන්නා සේය. ඒ සමගම මැදිරියට ලමා මණ්ඩපයට සඳහා පැමිණි ගීතා/කුසුම්/ධර්ම ශ්‍රී/ලකී/ යන අයියලා අක්කලාත් නංගිලා/මල්ලිලාත් සියලූ දෙනා ලිපි..විචිත්‍රාංග තෝරා සූදානම් වන අතර නිරංජලා/රෝහණ/නිර්මලා /මාලනී/ඩැනී අයියා සමග පියානෝව වටා රොක්වුණේ ලමා ගීත පුහුණු වීමටයි. ඒ සමගම මා වෙත හැරුණු කරු අයියා…
“තමුසෙට කවි කියන්න පුළුවන්ද”..බෑ..”සිංදු කියන්න”
“බෑ”. ලිපි කියවන්න..? “බෑ”
“තමුසෙට මොනවද ඕයි පුළුවන්..? දෙලෝ රත් වූ මා බියෙන් කියා සිටියේ”කරු අයියේ.. මං අම්මා කියා දුන් ‘වඳුරො ගස් ගිය හැටි’ කියන කතන්දරයක් නාට්‍යකට ලියා
ගෙන ආව.” කියායි.
“හ්ම්..ගීත….කුසුම්.. ලක්ෂ්මී බෝඹුවල…චන්ද්‍රසෝම තමුසෙල නාට්‍ය බලාගන්නව….
අපි බයටම නාට්‍ය හොඳටම පුරුදු වෙලා පටිගත කලා.
කරු අයියා ලගට ආවා. “හොඳයි ..උදේනි..තමුසෙ හැමදාම නාට්‍ය බලාගන්නව.
ධර්මෙ කථනය බලාගන්නව…
රෝහණ/නිරංජලා /මාලනී/
ඩැනී එක්ක ලමා ගීත….”
මගෙ ඇඟ හිරිවැටල හිටියෙ. ෆීලික්ස් හිනාවෙවී ලඟට ආව..”උදේනි… කරු අයියා.. තමුසෙ..ඕයි ..කියන්නෙ ආදරේට. ඒ කරු අයියාගේ ලෙන්ගතුකමේ හැටි.”
එදා ඉඳන් මම හැමදාම කලේ නාට්‍ය .. එදා මගෙ ඉවසීම නොතිබුනානම් මම අද මෙතන නෑ.ඒ නිසා අපි හැමවෙලේම ඉවසීමෙන් කටයුතු කලොත් ජයග්‍රාහණය ස්ථිරයි. ඇත්තටම එදා මාධ්‍යවේදීන්ට කරු අයියා දෙවියෙක්.

📻
ඔබතුමා ඉහතින් සඳහන් කල අමතක නොවන සිදුවීම් බොහොමයක් අතරින් වඩාත්ම හිතට වැදුන සිදුවීමක් ගැන අහන්න ආසයි…

මට මතකයි 1969 මුලින්ම කරුණාරත්න අබේසේකර සූරීන් හමුවෙලා මුලින්ම ගුවන් විදුලියට ගියදා ඵතුමා මගේ හැකියාවන් විමසපු හැටි…
“තමුසෙට කවි කියන්න පුළුවන්ද” ” බෑ” සින්දු…….” බෑ”..ලිපි කියවන්න.”. බෑ”
එහෙනම් තමුසෙට මොනවාද පුලුවන් ඕයි….
තවමත් හිනායනවා..
මම ධෛර්ය සම්පන්න වූයේ එතැනින්…

📻…
පුවත්පත් සඟරා ආදියට ඔබතුමාගේ එකල දායකත්වය කොහොමද …

……….ඔව් ..
පුවත් පත් වලට මම 1978 විතර සිට ජපානයේ සහ මැද පෙරදිග සිට විවිධ ලිපි සමග ඡායාරූප එව්ව “දිවයින” සහ ලංකාදීප පුවත් පත් වලට. ඊට අමතරව “රිවිරැස “ට ” ලෝරන්සෝ නෞකාව ” “බඹරෝ නුඹ නාඬන්” වැනි චිත්‍රකතා සතිපතා ලිව්ව. “සතුට ” පුවත්පතට මාලනී/සනත්/සතිස් වැනි ජනප්‍රිය නලු නිලියන් යොදා සතිපතා “සිනාසෙන සමනලිය” කියල පින්තූර කථාවක් ලිව්ව..

📻..
ඔව්.. එදා මෙදාතුර මාධ්‍ය හා කළාව ගැන සාරාංශයක් ගත්තොත් …
මම ක්ෂේත්‍රයේ ඉන්න කාලේ සෞදි අරාබියට යන්නත් වරම් ලැබුනා. ඒ සමඟම මට නිර්මාණ රැසක් සමාජයට දායාද කරන්නට ලැබුනා ..

📻..
මොනවාද ඒ නිර්මාණ …

ආදර කතා , චිත්‍ර කතා , විකට කතා , කාටුන් වැනි දෑ.. නම් වශයෙන් සඳහන් කළොත්..
*වන බඹරෝ නුඹ නාඩන්
*හිනැහෙන සමනලිය
*විහිලු කාරයෝ
*ළඟින් ඉන්න කෙනෙක් දෙන්න

  • අම්මයි පුතයි
    *අප්‍රකාශිත ප්‍රේමය
    *යකාගේ ඉස්කෝලේ වැනි කතා චිත්‍ර කතා ,කාටූන් වැනි නිර්මාණ …
    📻…
    විශේෂයෙන්ම අහන්න ඕනේ…. සංස්කෘතික බල මණ්ඩලයේ විශේෂ මහා සභා රැස්වීමේදී සංස්කෘතික නිළධාරි තුමියගේ අතින් ජයහඬ ප්‍රචාරය උදෙසා
    ” නුඹට පෙම් බැඳි කාරණේ “
    නම් ග්‍රන්ථය මාවෙත පිළිගැන්වූවා.. ඒ ගැන කතාකලොත්…
  • ඔව් එය මෙහෙමයි ,
  • චන්ද්‍රා කුමාරි මුල්ලේගම ලේඛිකාව විසින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වූවා..
  • එහි විශේෂත්වය තමයි මා විසින් පෙරදී රචිත
  • ” ළඟින් ඉන්න කෙනෙක් දෙන්න “
  • නවකතාවේ දිගුවක් ලෙස මේ ලේඛිකාව ලියා තිබීම …
WhatsApp Image 2023 10 27 at 17.38.57 eb3a714c

📻..
කලා ක්ෂේත්‍රයේ ලැබූ සම්මාන ගැන කතා කළොත්…

ඔව්..
“ජයහඬ” සම්මානයත් සමග මේ මට ලැබුණ පස්වෙනි ගෞරව සම්මානයයි.මේ ලද සියලු සම්මාන වල පූර්ණ සම්මානනීය ගෞරවය හිමිවිය යුත්තේ මහර සංස්කෘතියක නිලධාරිනී වන අචිනි දිසානායක මහත්මියටත් අප වෙනුවෙන් කවදත් හඬනගන ජනප්‍රිය..ජනකාන්ත “ජයහඬ” සම්බන්ධීකාරක බණ්ඩාර රාජපක්ෂ මහත්මාටයි..

📻..
මහර සංස්කෘතික බල මණ්ඩලය ගැන කොහොමද දකින්නේ..

ඇත්තෙන්ම .
( ” මට මෙතෙක් හමුවූ රාජ්‍යය නිලධාරීන් අතරින් රාජ්‍යය සේවයටත් එහා ගොස් මෙතරම්ම කැපවීමෙන් සිනාමුසුව සේවය කරන මහර සංස්කෘතියක නිලධාරිනිය වන අචිනි දිසානායක මහත්මිය වැනි අය ඉතා විරල බව සඳහන් කල යුතුමය. අසූ විය ඉක්මවූ විවිධ කලාකරුවන්ගේ මානසිකත්වය මනාව තේරුම් ගෙන එදා තුරුණු වියේ මෙන්ම අදත් වයන්නට. ගයන්නට..රඟන්නට වේදිකාවක් තනාදීමෙන් ඈ කලේ කෙතරම් විශිෂ්ඨ මානුෂීය සේවාවක්ද..? ” ඒ පසුගිය සංස්කෘතික උත්සව කීපයකදී සම්මානිත ජේයෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා ගේ සහ ප්‍රවීණ මාධ්‍යවේදී/මාධ්‍ය උපදේශක /කරුණාරත්න අමරසිංහ සූරීන්ගේ සහ ජේෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් සූරීන්ගේ වදන් වැලකි.)
ඉතින් ….
මෙයම තමයි මටත් කියන්න තියෙන්නේ හදවතින්ම…

392751281 3591594981094200 2019440364361968594 n

📻..
අහඹු සිදුවීමක් වුනා කීවා .. ඒගැන කීවොත් …
මේක ඒ සම්මානය ලද දින සිදුවූ අහඹු සිදුවීමකි.
ඵම උත්සවයට නව ප්‍රාදේශීය ලේකම්තුමා හා සංස්කෘතික නිලධාරිනී අචිනි දිසානායක මහත්මිය වෙනුවෙන් මහාචාර්ය ගල්මංගොඩ සූරීන්ට ආරාධනා කිරීමේ වගකීම පැවරුණේ මා වෙතය. රාත්‍රියේ අන්ධකාරයටත් එළඹ තිබූ බැවින් එතුමාගේ පැමිණීම සහ ආපසු සුරක්‍ෂිතව යැවීමත් මා සතු යුතුකමක් නිසාම මා පිටතට පැමිණියේ ඒ සඳහාමය. ඒ සමගම මා හා ඉතා ප්‍රියමනාපව සිනාසුන මෝටර් රථයක් පදවා ආ එක් නෝනාමහත්මියක් මදෙස බැලුවේ මගේ අවශ්‍යතාවය කුමක්දැයි විමසන අටියෙනි. මගේ අවශ්‍යතාවය කියු සැණින් එතුමිය කිසිදු පැකිලීමක් තොරව ඒ වගකීම භාරගැනීම මගේ ඉමහත් සතුටට හේතු වූ නිසාම ඒ අඳුරු රාත්‍රියේ මාද සිනාමුසුව විමසා සිටියේ ඔබතුමිය කවුරුවන්ද කියායි.” මම ..ජයහඬ ගුවන් විදුලි සේවයේ යැයි ඇය කීවේ කෙතරම් නිරහංකාරවද..? ඒ වන විට මගේ ආරාධිත අමුත්තාගේ අවශ්‍යතාවය ප්‍රා. ලේකම්තුමා ඉටුකර තිබූ බැවින් මා එතුමියට සමුදුන්නේ ඉතා ගෞරවාන්විතවය. මා මෙය සඳහන් කලේ අඳුරු රැයක නොව දිවාකාලයේ පිරිමියෙකු පවා කෙනෙකුගේ අවශ්‍යතාවය නොවිමසන උද්දච්ච මිනිසුන් සිටින රටක ….බිමින් නොගොස් උඩින් යන ඇතැම් ලඳුන් සිටින රටක ඇයගේ නිහතමානිත්වය කෙතරම් පරමාදර්ශීද.. කෙතරම් අගය කල යුතුද …? නායකත්වය එසේනම් “ජයහඬේ” ජනප්‍රියත්වය ගැන කුමන කතාද.. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දශක පහකටත්වඩා කාලයක් අත්දැකීම් ලද මගේ ශීර්ෂ ප්‍රණාමය බණ්ඩාර මහත්මා මගින් “ජයහඬ” වෙත මෙසේ පිරිනමනවා….

📻…
ඇත්තෙන්ම ඔබතුමාගේ නිහතමානී ප්‍රකාශය ” ජයහඬ ” අපිට ලබාදුන් මහඟු සම්මානයක් හැටියට ශීර්ෂ ප්‍රණාමයෙන්ම භාර ගන්නවා..
අපිට ආශීර්වාදයක්….එදා සහ අද මාධ්‍ය භාවිතය හැසිරවීම ගැන ඔබතුමා කොහොමද දකින්නේ…

හ්ම්ම්…එදා සහ අද මාධ්‍ය භාවිතය ගැන නම් කියන්නත් කණගාටුයි. බොහෝවිට අද ඇතැම් මාධ්‍ය වල වගේ නිසරු වදන්/දෙපිට කැපෙන වදන්/තුට්ටු දෙකේ විහිළු විශේෂයෙන් ගුවන්විදුලියෙ ධර්ම ශ්‍රීල…ප්‍රේමකීර්තිල..
ලලිත් .සුමනා..සුජාතා..කුසුම්.ගුණාතුංග..
නිව්ටන් ගුණරත්න වගේ නිවේදක නිවේදිකාවො හැමදෙනාම කවුරුත් ඇමතුවේ ඉතාම ගෞරවාන්විතව.අද ඉන්න ඇතැම් නිවේදක නිවේදිකාව න්ගෙ භාෂාව හැසිරවීම ගැන ලස්සනට උපහාසාත්මකව උලුප්පා පෙන්වා දෙන ගෞරවනීය විද්වතෙක් තමා ප්‍රවීණ ජේෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ සූරීන්..එතුමා කියන්නේ ඒ අය ආත්මෙට හැදෙන්නෙත් නෑ.. හදන්නත් බෑ කියලයි.ඇත්තත් ඒකයි.

📻….
පසුගිය දශක පහක් පුරාවටම ඔබතුමා ලත් අත්දැකීම් සහ අදහස් ගැන විමසුවොත්….
දශක 05 ක් පුරාවට මා ලද විවිධ අත්දැකීම් තුලින් මම කියන්නෙ නිහතමානි වෙන්න..හඳුනන. නාඳුනන කා සමගත් සිනාමුසුව කතා කරන්න. කෙනෙක් ඇමතුම් 7/8 ක් දෙනතුරු නිහඬව බලා නොසිට ඊට කාරුණිකව ප්‍රතිචාර දක්වන්න. ඒකයි මහත්මාකම සහ සමාජ ආශ්‍රයේ වටිනාකම.
අන්තර්ජාලය ගැන කතා කරනකොට ඇත්තටම “ජයහඬ ” වගේ සේවාවන්..බණ්ඩාර රාජපක්ෂ මහතා වැනි පරාර්ථකාමීන් අතිශයින්ම අගය කරන්නම ඕනෙ.
📻…
අවසාන වශයෙන් අන්තර්ජාලීය මුහුණු පොත ගැනත් යමක් කියනවානම් අගෙයි කියා හිතෙනවා …

අවසාන වශයෙන් “මුහුණු පොත” ගැන කියනවනම් වැදගත්..වටිනා ලේඛනයකට ප්‍රතිචාරය 8/10 ක් ලැබෙනකොට..නිසරු විහිළු වලට.. ඇතැම් හරුප වලට ලැබෙන ප්‍රතිචාරය 1000 ඉක්මවා යනකොට නිකමට හිතල බලන්න අපේ ඇතැම් බාල පරපුරේ අධ්‍යාපනය සහ ඔවුන් නොමග නොයයිද කියල.
මගේ අදහස් පිලිබඳව ඔබේ ප්‍රතිචාරත් මා අතිශයින් අගය කරනවා .

📻…ඉතින් .. නොපැකිලිව අප හා කතාබහ කරන්න ආරාධනය පිලිගත්තාට බොහොමත්ම ස්තුතියි ..
මෙම වටිනා අවස්ථාව මට ලබාදුන් ජයහඬ ගුවන් විදුලියට සහ ඉතාමත් කුළුපගව මා සමග කතාබහ කල බංඩාර මහතාටත් බොහොමත්ම ස්තුතියි.

Bandara rajapakasha

සටහන :
බංඩාර රාජපක්ෂගෙනි….

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *