ජෝති නම් වූ ගී කෝකිළයා…..
අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අපෙන් වියෝවී අදට, එනම් 2023 ජූලි 07 වෙනිදාට හරියටම අවුරුදු 36 ක්. ඒ වුනත් විවාදයක් නැහැ අදටත් ලංකාවෙ ජනප්‍රියතම ගායන ශිල්පියා එතුමාම තමයි.
මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ එච් ආර් ජෝතිපාල මාවතේ පිහිටි සිය මහල් නිවාසයට ඇතුල් වෙන පඩි පෙළෙහි සරමක් ඇඳ හිඳ, පාර තොටේ යන එන බාල මහලු හැමෝමත්තෙක්කම හිනාවෙලා පොඩි සුහද පිළිසඳරක යෙදෙන මේ නිහතමානී සුපිරි තරුව ජීවිතේ කීප විටක්ම මට හමුවී තියෙනව.
අද ඉන්න තරු එක්ක බලනකොට ජෝති අයියා සුපිරිම සුපිරි තරුවක්.
නමුත් මේ ජෝති රන් තරුව ඊටත් වඩා සුපිරි වන්නේ ඔහුගේ අති විශාල වූ සුපිරි හදවත සහ මනුස්සකම හින්දාමයි. වේදිකාවේ නිවේදකයා මීළඟට ගී ගයන්නට එච්. ආර්. ජෝතිපාලයන්ට ආරාධනා කරනවා කියා කියන හැම අවස්ථාවකම පහල සිටින රසිකයින් ‘රත්තරන් ජෝතී’ යැයි කෑ ගසන්නේ ඔහු තුල තිබූ ඒ අසීමිත මනුස්සකම හින්දාමයි.
පහුගිය කාලෙ සුපර් ස්ටාර් තරඟ වලින් බිහි වුණු සියලුම (ලිට්ල්) ස්ටාර්ස් ලා එම ස්ටාර් තත්වයන්ට පත් කළේ ජෝති, කැලැරැන්ස්, මිල්ටන්, එම්. එස්. වැනි මෙරට බිහි වුනු අති විශිෂ්ඨ ගායන ශිල්පීන් ගේ කිසිදා නොමියෙන ගී පෙළහරයි.
ජෝතිගේ ගී වලින් ජෝති හම්බ කළාට වඩා දස දහස් ගුණයක් හරි හම්බ කරගෙන සිටින තබක්ක සුපර් ස්ටාර්ලා ළඟ සහ ජෝතිගෙ සිංදු වලින් බඩ වියත රැක ගන්න බොහොමයක් සංගීත කණ්ඩායම් කාරයො ළඟ නම් ජෝති සතුව තිබූ මනුස්සකමෙන් එක දශමයක් වත් පිහිටලා නැහැ. ඒ හින්දම ඔය පායන ස්ටාර්ලා සේරම මිනිස්සුන්ගෙ හදවත් වලිනුත් පායන ඉක්මනටම මැකිලාත් යනව.
ජෝති මිය ගිහින් අවුරුදු 30 ක් ගෙවිලත් අදටත් කී දෙනෙක් නම් ලොව පුරා ඔහු ගැන ලියනවද, කියවනවද, කතා කරනවද ? ගුණ සමරු උත්සව සංවිධානය කරනවද ? ගී ප්‍රසංග තියනවද..? මේ අසීමාන්තික ආදරය ඔහුගේ රසිකයන් තුල මේ තරමට ඇත්තේ ජෝති අසහාය ගායකයෙක් වගේම හිත හොඳ මනුස්සයෙකු වූ නිසාම නේද?
මම අහල තියෙන ජෝතිගේ ජීවිත කතාවෙ කවදාවත් ඔහු මහ ලොකු සැප සම්පත් විඳි මිනිසෙක් නෙවි. පුංචි කාලෙ රේඩියෝවක් නොතිබුණු කැටවලමුල්ලෙ පුංචි ගෙදර ඉඳන් මරදානට පයින් ඇවිල්ල මරදානෙ හෝටල් වල, සයිවර් කඩ වල අයිනෙ ඉඳගෙන ඒව වල සද්දෙට දාල තියෙන රෙඩිවිෂන් ගුවන් විදුළි යන්ත්‍ර වලින් සිංදු අහපු ජෝතිපාල, පස්සෙ කාළෙක මුළු ශ්‍රී ලංකාවෙම අංක එකේ ගායකය වෙන්නෙ ඔහුට තිබුණු මහා චිත්ත ධෛර්යය නිසා කියලයි මට නම් හිතෙන්නෙ.
සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයෙන් කල එළි බහින්නට හිටි ජෝතිපාල ගායකයා චිත්‍රපටයේ මංගල දර්ශණය දා මිතුරන් සමඟ චිත්‍රපට ශාලාවට ගියේ තමන්ගේ ගීතයක් එහි ඇතැයි කියල බොහොම උජාරුවෙන්. ඒ වුනාට චිත්‍රපටය අවසන් වෙලා තිරය වැහෙන කම් බලන් හිටියත් ජෝතිගේ සිංදුව ඒ චිත්‍රපටයෙ ඇතුලත් වෙලා තිබ්බෙ නෑ. නිෂ්පාදක වරුන්ගෙ කතුරු වලට අන්න එහෙම ජෝතිව කැපිල ගියෙ දළු දාන්ඩ පටන් ගත්ත කාලෙම තමයි.
ස්ටැන්ලි ඕමාර්, ජබීර් ඒ. කාදර් මහත්වරුන්ට පින් සිද්ද වෙන්න, ජෝති 1956 අවුරුද්දෙ නිෂ්පාදනය වුණු ‘සුරතලී’ චිත්‍රපටෙයන් චිත්‍රපට පසුබිම් ගායකයෙකු වෙනව. එදා සුරතලීට ජෝති ගැයූ ‘සිරියමෙ සාරා – නැගේවි හද මෝරා’ යන ගීතයට දශක 6 ක ඉතිහාසයක් තිබ්බත් අදටත් මිනිස්සුන්ගෙ හිත් වල සටහන් වුණු හරි අපූරු ගීයක්.
අවුරුදු තිහක් තිස්සෙ දේශීය සිනමාවේ ජෝතිපාල ගැයූ දහස් සංඛ්‍යාත ගීතයන්ට සිය රංගනය මුහු කළ නළුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නව.
ජෝතිගේ හඬින් ගැයුණු ගීත වලට රඟපාපු ලංකාවෙ නළුවන්ගෙ ලැයිස්තුවත් මේ සමඟ ලියන්න හිතුනෙ එය ජෝතිටත් එම අපූරු රංගධරයන්ටත් කරන උපහාරයක් කියල හිතුණ නිසාමයි
ආනන්ද ජයරත්න
ප්‍රේම් ජයන්ත්
එඩී ජයමාන්න
ඩොමී ජයවර්ධන
අශෝක පොන්නම්පෙරුම
රිචඩ් ඇල්බට් (ටාසන්)
සම්පත් ශ්‍රී නන්දලෝචන
ඇන්තනි සී. පෙරේරා
ගාමිණී ෆොන්සේකා
ජෝ අබේවික්‍රම
ටෝනි රණසිංහ
විජය කුමාරතුංග
එල්. එම්. පෙරේරා
බැප්ටිස් ප්‍රනාන්දු
බොනිපස් ප්‍රනාන්දු
සේනාධීර රූපසිංහ
ඔස්වල්ඩ් ජයසිංහ
රෝයි ද සිල්වා
රොබින් ප්‍රනාන්දු
රවීන්ද්‍ර රන්දෙණිය
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
බන්දු මුණසිංහ
ෆේරඩී සිල්වා
ස්ටැන්ලි පෙරේරා
සනත් ගුණතිලක
ජීවන් කුමාරතුංග
ශෂි විජේන්ද්‍ර
අජිත් ජිනදාස
තිස්ස විජේසුරේන්ද්‍ර
ලයනල් දැරණියගල
කිත්සිරි පෙරේරා
ජගත් රොහාන්
සෙයින් සුහෙර්
මර්වින් ජයතුංග
විජය නන්දසිරි
රෙක්ස් කොඩිප්පිලි
වොලී නානායක්කාර
දොන් සිිරිසේන
ජයන්ත දාස් පෙරේරා
නිහාල් සිල්වා
විල්සන් කරුණාරත්න
විමල් කුමාර ද කොස්තා
ක්වින්ටස් වීරකෝන්
ශ්‍රීනාත් බස්නායක
තිලක් කුමාර රත්නායක
සුදේශ් ගුණරත්න
මේ හැම රංගන ශිල්පියෙකුටම වඩා ජෝතිගේ හඬ හොඳටම ගැලපුනේ ගාමිණීටයි විජයටයි තමයි. ඒ අතරිනුත් විජයට තමයි ජෝතිපාල ගේ හඬ රන් රස වගේ පෑහුණේ.
ජෝතිගේ පළමු ගුණානුස්මරණ උත්සවයේදී විජය කළ හර්දයාංගම කතාවෙදි ඔහු ඒ බව මතක් කලේ මෙහෙම.
”එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් මහා පාඩුවක් වෙච්ච ලංකාවේ තවත් මිනිහෙක් ඉන්නවා නම් ඒ විජය කුමාරතුංගයි. අවුරුදු 20 ක් නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට අවුරුදු 20 ක් මං වගේම, මට ගැළපෙන විදියට අවුරුදු 20 ක් තිස්සේ මට සින්දු කිව්වේ එච්.ආර්. ජෝතිපාලයි. ඒ හඬ මට ලබා දෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන්කමක් නැහැ.”
“ඒ වගේමයි මම අද ඔබට කියනවා ජීවත් වුනු ජෝතිපාලට වඩා මිය ගිය ජෝතිපාල වඩා බලවත් වන බව. එය සහතිකවම සිද්ධ වෙනවා…”
හරියටම ඉන් දින හතරකට පසු ආදරණීය විජයද රසිකයින්ගෙන් සදහටම නිහඬ කරවන්නට කොහෙන්දෝ ආ හිත් පිත් නැති සහාසිකයෙකුට හා පෙරමුණකට පුලුවන් කම ලැබෙනව.
එදා පටන් අද වන තුරු මියගිය ජෝතිපාලත්, මියගිය විජය කුමාරතුංගත් ජීවත්ව සිටියාට වඩා බලවත්ව, විරාජමානව අදටත් අපේ හදවත් තුල ජීවත් වෙනව. ජනතාවාදී කලා කරුවන් මරා දැම්මත්, ස්වභාවිකව මියගියත් ජනතාවට පුලුවනි ඔවුන් සදා කල් ජීවත් කරවන්නට.
විජයත් ජෝතිත් අදටත් ජීවත් වෙන්නෙ ඒ ජනතා ආදරය නිසා.
ජෝතිට ඉන්නව හරි අපූරු මිත්‍ර සමාගමක්. මේ මිත්‍ර සමාගමේ වැඩි හරියක් ඉන්නෙ මහ ලොකු බලවත් මිනිස්සු නෙවී සාමාන්‍ය මිනිස්සු. පහුගිය අවුරුදු විසි නවයෙම බොරැල්ලෙ කනත්තෙ ස්මාරකයත්, මාළිගාවත්තෙ ජෝති පිළිරුවත් වරින් වර සෝදා සුද්ධ පවිත්‍ර කරමින් තමන්ගෙ ආදරය, ලෙන්ගතුකම තමන් මියෙන තුරුම ජෝතිට පුද කරන පතිරාජ වීරසිංහ ත් අන්න එහෙම මනුස්සයෙක්. විජය – ජෝති කියල කාලයක් සිනමා සඟරාවක් පළ කල ආනන්ද පද්මසිරි අප හිතවත් මාධ්‍යවේදියාත් අන්න එහෙම කෙනක්. මේ වගේ ලක්ෂ ගණනක් ජෝතිට ආදරේ කරන මිනිස්සු ලෝකෙ පුරාම ඉන්නව. මේ රසික ආදරය නිසාම මිය ගිහින් අවුරුදු 30 ක් ගෙවිලත් ජෝතිපාල තවමත් අංක එකේ ගායකයෙක් ලෙස ගී ලොවේ වැජඹෙමින් සිටිනව.
ජෝති ගැන කියන්න ලියන්න මෙහෙම බෑ. පැය විසිහතරෙම ජෝති ගීත පමණක් ප්‍රචාරය කළ ගුවන් විදුළි නාළිකා ගැන අපි අහල තියෙනව ජෝති කියන්නෙ මිය ගිය කෙනෙක් නෙවී. ජෝති කියන්නෙ නොමැරෙන කෙනෙක්. තාමත් ජීවත් වෙන කෙනෙක්. ජෝති නැති තිස් වසරක ජෝති නැති අඩුව අපිට පිරෙව්වෙ ඔහුගෙ ආදරණීය කට හඬ. ඉදිරි තුන්සිය වසරකත් එය එහෙමම වේවි.
සදාදරණීය ජෝති,
ආදරණීය ප්‍රිය කලාකරුවාණෙනි.
ඔබට උතුම් නිවන් සුව ලැබේවා..!
සටහන
සුදේශ් කරුණාතිලක ~