1 3
|

සම්මාන පිට සම්මාන දිනූ ප්‍රේමයේ නගරය යළිත් වේදිකාවේ

මේ කාලය ගත්තම වේදිකා නාට්‍යය බොහොමයක් වේදිකාගත වන කාලයක්. වේදිකාවට ඇළුම් කරන රසිකත්වයට තමන්ගේ රුචිකත්වය අනුව මේ කාලයේ නාට්‍යයක් බැලීමට ඉඩ කඩ වෙන් කර ගන්නට පුළුවන්. මේ කතාබහත් මේ කාලයේ ඔබට දැකිය හැකි නාට්‍යයක් ගැන. නාට්‍යය වෙන්නේ ප්‍රේමයේ නගරය. නොවැම්බර් 26 වනදා වේදිකාගත ප්‍රේමයේ නගරය නාට්‍ය පිළිබඳ නාට්‍යයේ අධ්‍යක්ෂ සහ සම නිෂ්පාදක අසංක ගුරුසිංහ සමඟයි මේ කතාබහ.

අසංක කොහොමද වේදිකා නට්‍යය කලාවට සම්බන්ධ වෙන්නේ?

මම පාසල් කාලයේදී නාට්‍යය කලාවට පිවිසෙන්නේ. මගේ පාසල ගාල්ල පෝද්දිවෙල මහා විද්‍යාලය. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා නාට්‍යය හා රංග කලාව විශේෂවේදී උපාධිය කරන්න. කැලණිය විශ්වවිද්‍යාලයේදී ඇකඩමික් ප්ලේයර් කියන නාට්‍යය සංගමය එක්ක වැඩ කරනවා. එතැනදී රංගනය අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය වැනි දේවල් සඳහා වැඩි කැමැත්තක් දැක්වුවා. රංගනයෙන් රන් මංජුසාව, මකරා, මිඩ් සමර් නයිට් ඩ්‍රීම්ස්, දහස් ගණන් වැන්දඹුවෝ, විසේකාරියෝ කියන නාට්‍යයවලට දායක වුණා. ඊට පස්සේ බර්නාඩාගේ සිපිරි ගෙය, මිඩ් සමර් නයිට් ඩ්‍රීම්ස්, දහස් ගණන් වැන්දඹුවෝ කියන නාට්‍යය වල පසුතල නිර්මාණය කළා. ඇන්ටගනී වගේ නාට්‍යයවල වේදිකා පරිපාලනය කරලා තියෙනවා. ඒ විදියට තමයි විශ්ව විද්‍යාල ජීවිතේ ගෙවුණේ. උපාධිය සම්පූර්ණ කළාට පස්සේ මට හම්බෙනවා බාහිර උපාධි ළමයින් එක්ක වැඩ කරන්න. ඒ හරහා ඒ ළමයි එක්ක කරපු නාට්‍යයක් තමයි “ප්‍රේමයේ නගරය”.

“ප්‍රේමයේ නගරය” නාට්‍යය නිර්මාණය වූ ආකාරය ගැන පැහැදිලි කළොත්?

මට එක අවස්ථාවකදී භාර වෙනවා බාහිර උපාධි ළමයින්ට අවශ්‍ය කරන ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්න. ඒ දේවල් කරගෙන යද්දී මට හිතෙනවා මේ අය එක්ක නිර්මාණයක් කරන්න ඕනේ කියලා. ගොඩක් පිරිසක් බාහිර උපාධිය ලබන නිසා මට අවශ්‍ය වුණෙත් වැඩි පිරිසක් දායක කරගත හැකි නාට්‍යයක් නිර්මාණය කරන්න. Thornton Wilder කියන අෙමරිකානු නාට්‍යයවේදියාගේ Our Town කියන නාට්‍යය කියවද්දී මට හිතුණා එහි සිංහල පරිවර්තනයක් කරන්න ඕනේ කියලා. ඒකට Pulitzer සම්මානය පවා ලැබිලා තියෙනවා. මෙය රටවල් ගණනාවකින් නිෂ්පාදනය වෙලා තියෙනවා අධ්‍යයන කාර්යක් විදියට.

බාහිර උපාධි ළමයි එක්ක “ප්‍රේමයේ නගරය” 2017දී තමයි පටන් ගත්තේ. බොහෝ අය වේදිකාවට ආධුනික අය. ඒ අය එක්ක අපි දීර්ඝ ගමනක් ආවා. මෙතැනදී තියර්ට් ප්ලේයර්ස් නාට්‍යය සංගමය ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ. තියර්ට් ප්ලේයර්ස් කියන්නේ බාහිර උපාධි විද්‍යාර්ථයින්ගෙන් සැදුම් ලත් නාට්‍යය සංගමය. ලංකාවේ දැනට බාහිර උපාධිය තුළ තියෙන ක්‍රියාකාරිම නාට්‍යය සංගමය. ඒකෙන් නිෂ්පාදනය කළ නාට්‍යයක් ලංකාවේ රාජ්‍යය නාට්‍යය උලෙළේ හොඳම නාට්‍යය බවට පත්වෙනවා. එතකොට මෙතන ඉන්නවා හාරසීයක් විතර විද්‍යාර්ථයින්. ඒ අය එක්ක අපි නිරන්තරයෙන් නාට්‍යය බැලීම, සංවාද පැවැත්වීම, චිත්‍රපට නැරඹීම වැනි කලාව පිළිබඳ පුළුල් මානයන් සොයා යෑමේ සංගමයක්. එහි නිර්මාතෘ වෙන්නේ ගයාන් රන්දීර. ඔහු තමයි මේ “ප්‍රේමයේ නගරය” නාට්‍යයේ පරිවර්තකයා සහ සම නිෂ්පාදකවරයා. 2019 ජනවාරි 19 ලුම්බිණි රඟහලේදී මංගල දර්ශනය පැවැත්වුවේ. එතැනින් පස්සේ ප්‍රේක්ෂා නාට්‍යය උලෙළට අපි දර්ශන වාර කිහිපයක් කළා. 2019 යෞවන සම්මාන උළෙලේ දී හොඳම සහාය නිළිය සම්මානය සහ ජූරියේ කුසලතා සම්මානය ලැබුණා. ඊට පස්සේ තමයි රාජ්‍ය නාට්‍යය උලෙළට අයදුම් කරන්නේ. එහිදී හොඳම නාට්‍ය ඇතුළු සම්මාන හතක් අපට ලැබෙනවා.

වසරේ ප්‍රශස්තම දිගු නාට්‍ය, වසරේ විශිෂ්ටතම රංග වස්ත්‍ර නිර්මාණය, වසරේ විශිෂ්ටතම රංගාලෝක නිර්මාණය, අංග රචනය වෙනුවෙන් ජූරියේ විශිෂ්ට කුසලතා සම්මානය, වසරේ විශිෂ්ටතම අධ්‍යක්ෂණය නිර්දේශිත, හොඳම සහය නළුවා නිර්දේශිත ආදි සම්මාන හිමි වෙනවා.

ප්‍රේමයේ නගරය නාට්‍යයේ අන්තර්ගතය ගැන සැකෙවින් කිව්වොත්?

මේ නාට්‍යය තුළ තියෙන්නේ ශුන්‍යත්වය පිළිබඳ සංකල්පනාවන්. එතකොට Thornton Wilder කියලා තියෙන්නේ අමරිකාවේ Grover’s Corners කියන කල්පිත නගරයක් ගැන. ඒ ගමේ හිටිය මිනිසුන්ගේ විවිධාකාර ප්‍රේමණීය තත්ත්වයන් තමයි නාට්‍යය තුළ පෙන්වන්නේ. ඒ එක්කම අපි අතීත මතකවලට මාර ආසයි වගේම අනාගතය විනිවිද දකින්න ගන්න උත්සාහය මේ තුළ අන්තර්ගත වෙනවා. නිරන්තරයෙන් කතාබහට ලක් වෙන්නේ වෙනස්වීම ගැන. ඒක ඇත්තටම බෞද්ධ දර්ශනයක්. නමුත් Thornton Wilder ලියලා තියෙන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය ඇතුළේ පල්ලිය පාදක කරගෙන ශුන්‍යත්වය පිළිබඳ කතා කිරීමක්.

මේ නිර්මාණයෙන් එහාට ගිහින් තව නිර්මාණ ගැන හිතලා තියෙනවද?

ඔව්. ඇත්තටම තව නිර්මාණයක් ලබන වසරේ මුල විතර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ නාට්‍යය ආරම්භය විතරයි. මම තැබූ ආරම්භය සුබ වුණා. තව ඉදිරියේදී මේ නාට්‍යයේ දර්ශන වාර ටිකක් කරලා ලංකාව වටේ පෙන්වන්න තමයි බලාපොරොත්තුව. ඒකට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා. දිගටම නාට්‍යයකරණයේ නියැළීම තමා බලාපොරොත්තුව.

මේ කාලය ගත්තම වේදිකා නාට්‍යය බොහොමයක් වේදිකාගත වෙනවා, වේදිකාවට සුබ කාලයක් ද මේ…?

වේදිකාවේ වසන්තයක් වගේ කාලයක් ඇවිත් තියෙන්නේ. හැබැයි සුබදායි වසන්තයක් නෙවෙයි. කොරෝනා වසංගතය නිමාවෙන කොටම දේශපාලන අර්බුදයක් ආවා. ඒකටත් නාට්‍යයකරුවෝ විදියට අපි හිර වෙනවා. ඒ හරහා හිර වෙලා හිටිය නිර්මාණකරුවන් තමන්ගේ නාට්‍යය වේදිකාගත කරන්න පටන් අරන් තියෙනවා. දැන් තමා අමාරුම කාලය. දැන් අපේ වියදම් කලින්ට වඩා දෙගුණයක් තුන් ගුණයක් වැඩි වෙලා තියෙනවා. හැබැයි නාට්‍යය බලන්න එන ප්‍රේක්ෂකයාගේ ටිකට් එක තුන් ගුණයකින් වැඩි කිරීමේ හැකියාවක් නැහැ. කොයිතරම් ආමාරු කාලයක් වුණත් නාට්‍යයකරුවන්ගේ තියෙන උත්සාහය නිසා කලාව පවත්වාගෙන යාම සහ ඒ ඒ නිර්මාණ තුළින් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය දෙන්න කලාකරුවන් වෙහෙසුණා. වසන්තයක් වගේ පෙනුණට අමාරුම කාලයක්.

1 4 21

වේදිකාවෙන්, පුංචි තිරයට සිනමාවට එන්න අදහසක් තියෙනවද?

ඇත්තටම එහෙම බලාපොරොත්තු තියෙනවා. බලමු ඉතින් ආනාගතයේදී.

අනුෂා රණසිංහ
සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *