බුකර් සම්මානය ෂෙහාන් සහ මාලි අල්මේදාගේ සත් සඳ /The Seven Moons of Maali Almaida
බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ඉංග්‍රීසි බසින් පළවන වසරේ හොඳම නවකතාවට පිරිනැමෙන බුකර් ත්‍යාගය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ලේඛකයකු වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වූ බව අපි දැනටමත් දනිමු. ඒ, ඔහු විසින් රචිත The Seven moon of Maali Almeida නම් නවකතාවටය.
එම නවකතාව සමඟ අවසන් වටයේ තරග වැදුණු අනෙක් විශිෂ්ට නවකතා බවට පත්වූයේ, සිම්බාබ්වේ ජාතික නොවයලට් බුලවායෝ විසින් රචිත Glory, ඇමරිකානු නවකතාකරුවෙකු වන පර්සිවල් එවරෙට් රචනා කළ The Trees ඉංග්‍රීසි නවකතාකරුවකු වන ඇලන් ගාර්නර් ලියූ Treacle Walker, අයර්ලන්ත කතුවරියක වන ක්ලෙයාර් කීගන්ගේ Small Things Like These සහ ඇමරිකානු නවකතාකාරියක වන එලිසබෙත් ස්ට්‍රවුට්ගේ oh william ! යන නවකතා පහය.
ඒ සියලු නවකතා අතික්‍රමණය කරමින් ෂෙහාන් කරුණාතිලක නම් ශ්‍රී ලාංකික ලේඛකයාගේ නවකතාවට මෙවර බුකර් ත්‍යාගය හිමි වන්නේ 1992 වර්ෂයේ දී ප්‍රථම වරට මයිකල් ඔන්ඩච්චිගේ The English Patient නම් නවකතාවට බුකර් ත්‍යාගය හිමිවීමෙන් වසර තිහකට පසුව ය.
අසූව අනූව දශකවල ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ ඛේදවාචකයන්ගෙන් ලත් සහකම්පනයෙන් නිර්මිත ෂෙහාන් කරුණාතිලකගේ ජයග්‍රාහී නවකතාව තවමත් අප පාඨකයන් බොහෝ දෙනෙකුට ආගන්තුක ය. එහෙයින්, ඒ පිළිබඳව විදෙස් විචාරකයන් දක්වන අදහස් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්නට අප අදහස් කළේ එමගින් ඔහුගේ එම නවකතාව පිළිබඳව කිසියම් අදහසක් ඔබ තුළ ඇතිකරන අපේක්ෂාවෙනි.
බීබීසී මාධ්‍යවේදිනියක වන රෙබෙකා ජෝන්ස් විසින් ඔහු බුකර් ත්‍යාගය දිනා ගැනීමෙන් පසුව අන්තර්ජාලයේ පළකරන ලද විශ්ලේෂණය පිළිබඳව පළමුවත්, ටොමිවා ඕවොලඬේ නම් ඉංග්‍රීසි ජාතික නිදහස් ලේඛකයා මෙම නවකතාව කෙටි ලැයිස්තු ගත වූ දිනවල එනම්, 2022 අගෝස්තු 09 දින The Gadian සඟරාවට ලියූ විචාර ලිපිය පිළිබඳව දෙවනුවත් අවධානය යොමු කරන්නට අදහස් කරමු.
ඇය තවදුරටත් එය අපට පැහැදිලි කරමින් මෙසේ පවසන්නී ය. කෘතියේ ආරම්භයේ තරමක විකාර රූපී බවක් ඇති බව පෙන්වා දෙන ඇය, නවකතාව ආරම්භ වන්නේ පරලොව ජීවිතයේ දී බවත්, අනතුරුව එය පරලොව සහ මෙලොව අතර දෝලනය වන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයට අයත් 1990 වසරේ දී ඝාතනයට ලක්වූ මාලි අල්මේදා නම් ඡායාරූප ශිල්පියා තමා මරා දැමුවේ කවුද සහ කුමකට ද යන්න සොයා ගැනීමට උත්සාහ දරමින් සිටින විට දී බවත් පැහැදිලි කර තිබේ.
ෂෙහාන් කරුණාතිලක තමාට පවසා ඇති ආකාරයට දස වසරක් තිස්සේ ඔහුගේ මනසෙහි තිබූ මෙම නවකතාව ඔහුගේ මනස බොහෝ සේ කාර්ය බහුල කරන්නට ඇතැයි ද, මුල් කාලයේ ජාත්‍යන්තර ප්‍රකාශකයෙකු සොයා ගැනීමට පවා අපහසුව සිටි ඔහුගේ මෙම විස්මය ජනක නවකතාව බුකර් ත්‍යාගය දිනා ගැනීම නිසා වඩාත් පුළුල් පිරිසක් වෙත ළඟාවනු ඇතැයි ද ඇය එම කෙටි විශ්ලේෂණය තුළින් සිය විශ්වාසය පළකර ඇත.
අප අවධානයට බඳුන් කරන්නට අදහස් කරන අනෙක් සමාලෝචනය සිදුකළ ලේඛක ටොමිවා ඕවොලඩේ, මෙම නවකතාවේ අන්තර්ගතය හකුළුවා දක්වමින් සිය සමාලෝචනය නම් කරන්නේ ම ‘ශ්‍රී ලංකාවේ මරණයෙන් පසු ජීවිතය’ යනුවෙනි. ඡායාරූප ශිල්පියෙකුගේ මරණින් මතු ජීවිතය හාස්‍යයෙන් සහ ව්‍යාකූලත්වයෙන් පිරුණු නවකතාවක කැටිකර එමගින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ඛේදවාචකය හෙළිදරව් කරන්නට මෙම නවකතාව උත්සාහ ගෙන තිබේ.
සිංහල පියෙකුගේ සහ බර්ගර් මවකගේ පුතෙකු වන මාලි, ඔහුගේ විශ්වාසවන්ත නිකොන් කැමරාවට ආදරය කරන සංචාරක ඡායාරූප ශිල්පියෙකි. ඔහු සූදු ක්‍රීඩාවේ නියැලෙන සමලිංගිකයෙකු මෙන් ම, අදේවවාදියෙකු ද වෙයි. නවකතාව ආරම්භයේ දී ම මියයන ඔහු ඉක්මනින් ම යළි අවදි වෙයි.
මාලි යනු ශ්‍රී ලංකාවේ පැවැති ඊළාම් යුද්ධයේ සාක්ෂිකරුවෙකි. පුවත්පත් සහ සඟරාවල කටයුතු කරමින් සිටින ඔහුගේ අභිලාෂය වෙන්නේ යුද්ධ නැවැත්විය හැකි ඡායාරූප ගැනීම ය. ආණ්ඩු බිඳ වට්ටන ඡායාරූප ගැනීම ය.
එම ඡායාරූප ඔහුගේ පවුලේ නිවසේ ඇඳක් යට ගබඩා කර ඇත. පරලොව සිරවී සිටින ඔහු, සිය මිතුරිය වන ජැකී සහ ඇගේ ඥාති සොහොයුරිය සමඟ සම්බන්ධ වීමටත්, ඡායාරූප තොගය ලබා ගැනීම සඳහා ඔවුන් පොළඹවා ගැනීමටත්, ගැටුමේ ගැඹුරු ප්‍රචණ්ඩ ස්වභාවය හෙළිදරව් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම නගරය වන කොළඹ නගරය පුරා ඒවා බෙදා හැරීමටත් ඔහුට ඉතිරිව ඇත්තේ ‘සඳ හතක්‘ හෙවත් සතියක කාලයක් පමණි.
බොහෝ දෙනා කුතුහලයට පත් කළ මෙම ‘සඳ සත’ පිළිබඳව නවකතාව තුළ මතුවන එක් අවස්ථාවක මාලි පැහැදිලි කර දෙන්නේ මෙසේ ය.
—every soul is allowed seven moons to wander the in Between. To recall past lives. And then, to forget. They want you to forget. Because, when you forget, nothing changes.˜ – “අතීත ජීවිතය සිහිපත් කිරීම සඳහා සෑම ආත්මයකටම චන්ද්‍රයන් හතක් අතර සැරි සැරීමට අවසර ඇත. ඉන්පසු අමතක කිරීම් ය. ඔවුන්ට ඔබ අමතක කිරීමට අවශ්‍ය ය. මන්ද, ඔබ අමතක වූ විට කිසිවක් වෙනස් නොවේ.”
අමතක කිරීමකට නියමිත සාක්ෂිකරුවෙකු ලෙස තම දායකත්වය ලබාදීමට මාලිට අවශ්‍ය නැත. ජීවිතයේ බිඳෙන සුලු බව ඔහුගේම මරණය මගින් ඔහුට දෘශ්‍යමය වශයෙන් නිරාවරණය කර තිබේ.
මෙම නවකතාව ලියා ඇත්තේ දෙවන පුද්ගලයෙකුගේ ද්‍රෘෂ්ටි කෝණයකින් වන හෙයින්, එය ආඛ්‍යානයට ලබා දී ඇත්තේ තරමක් දුරස්ථ බලපෑමකි. එහෙත්, එහි ඇතුළත්ව ඇති උපහාසාත්මක හාස්‍යය මගින් එය වඩාත් හොඳින් ඵල දරා තිබේ.
නවකතාවේ එක් ඡේදයක එන කථකයා මෙසේ කියයි.
—You have one response for those who believe Colombo to be overcrowded( wait till you see it with ghosts’˜ – “කොළඹ ජනාකීර්ණ යැයි විශ්වාස කරන අයට ඔබට කියා දීමට ඇත්තේ එක දෙයකි. එනම්, ‘ඔබ එය අවතාර සමඟ දකින තුරු රැඳී සිටින්න’ යනුවෙනි.”
මෙම නවකතාවේ දක්නට ලැබෙන තවත් ප්‍රබල ලක්ෂණයක් වන්නේ උපමාවල ඇති විචිත්‍රවත් භාවිතය යි. පහර කෑමට ලක් වූ එක් මිනිසෙකුගේ ඉළඇට බිඳුණු ශරීරය ඔහු විස්තර කර ඇත්තේ —like a broken coconut˜ – “බිඳුණු පොල් ගෙඩියක් මෙනි” යනුවෙනි.
මෙහි පැහැදිලිව දක්නට ලැබෙන සාහිත්‍ය සැසඳීම් සල්මන් රුෂ්ඩි සහ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්ගේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය සමඟ සමපාත වේ. එසේම මෙම නවකතාව නිකොලායි ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ හෝ මිහායිල් බල්ගාකොව්ගේ ‘මාස්ටර් සහ මාගරිටා’ යන නවකතාවල දක්නට ලැබෙන සදාකාලික බුද්ධිය සහ අධි යථාර්ථවාදය ද සිහිපත් කරයි. මෙහි එන අවස්ථා බොහෝ විට විකාරරූපී වේ. මළ සිරුරු එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කරගත්ත ද, පාඨකයා පොළඹවනසුලු හාස්‍යයක් සහ ව්‍යාකූලත්වයකින් ඒවා ක්‍රියාත්මක වේ.
අවසන් වශයෙන් මෙම නවකතාව පුරා දක්නට ලැබෙන සමෘද්ධිමත් සාහිත්‍යයට යටින් ඇත්තේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නම් සත්‍ය සිදුවීමත්, එහි බිහිසුණු යථාර්ථයත් බව පවසන ලේඛක ටොමිවා ඕවොලඩේ, එනයින් බලන කල ෂෙහාන් කරුණාතිලක The Seven Moons of Maali Almaida නවකතාව තුළින් තම රටේ ඉතිහාසයේ බිහිසුණු කාල පරිච්ඡේදයකට කලාත්මක යුක්තිය ඉටු කිරීමක් සිදුකර ඇති බව පවසයි.
සැබැවින් ම, රටක අඳුරු යුදමය කාලපරිච්ඡේදයක සැබෑ තතු විත්ති අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා සටහන් කර තැබීම අත්‍යවශ්‍යයෙන් ම සිදුකළ යුතු දෙයකි. එසේ සිදුකළ යුත්තේ ඒ නිහීන සිදුවීම්වලින් පාඩම් උගෙන අනාගතයේ දී හෝ ඒවා ප්‍රතිනිර්මාණය වීම වැළැක්වීම සඳහා ය. එසේ ම, එම සිදුවීම් පාඨකයාට වඩාත් සමීප කළ යුත්තේ යුද වාර්තා, යුද සංඛාලේඛන හෝ ඓතිහාසික යුද තොරතුරුවලින් නොවේ. නිර්මාණාත්මක සාහිත්‍යය ශානර හරහා ඒවා ඉදිරිපත් කිරීම මගිනි.
එහෙත්, අවාසනාව වන්නේ එතරම් දරුණු ඛේදවාචක රැසක් ශ්‍රී ලංකාව තුළ සිදුව තිබිය දී ත්, එකී ප්‍රස්තුතයන් තේමාකර ගනිමින් සාහිත්‍යකරණයේ යෙදෙන්නට අපේ රටේ නවකතාකරුවන් ප්‍රමාණවත් තරම් දායකත්වයක් ලබා දෙන්නට අපොහොසත්ව සිටීම යි.
එනිසා, විදෙස් ගතව සිට වුව ද, තම මව්බිම ගැන ඇල්මෙන් සිටින ෂෙහාන් කරුණාතිලක සම්මානනීය නවකතාකරුවා ඒ අඩුපාඩුව සපුරා ලන්නට The Seven Moons of Maali Almaida නම් සිය නවකතාව මගින් ගෙන ඇත්තේ ඒ වෙනුවෙන් ඔහු ලද බුකර් සම්මානය තරමට ම හෝ ඊටත් වඩා වටිනා මාහැඟි උත්සාහයකි.
අනුර බී.සෙනෙවිරත්න – ලංකාදීප